ක්‍රීඩා

මැලි නොවී ඇඳුම හදා ගන්න

77views

ජාතික ශූරතා තරගවල මූලික තරග ගම්පහට රැගෙන යාම අලු‍ත් ප්‍රවණතාවකි. එය අගය කළ යුතුය. නමුත්, තරගාවලිය පැවත් වූ ‘සුමේධ’ ක්‍රීඩාපිටිය තරග ආරම්භ දිනයේම සිය න්‍යාය පත්‍රයට අනුව පැවැති තරග පුහුණු අවස්ථා නිම කරන තෙක් ජාතික ක්‍රීඩාවේ ජාතික තරගාවලිය පමා කරමින් ක්‍රීඩා කණ්ඩායම් අපහසුතාවකට ලක් කිරීම, ජාතික තරගාවලියක වටිනාකම නොසලකා පරිපාලනය විසින් නිවැරදි සන්නිවේදනයක් පවත්වා නොගැනීමේ වරද බව පිළිගත යුතුය.

නමුත් ඉහළ තරග රටාවන් මෙන්ම පෙරළිකාර සිදුවීම් ද නිසා උණුසුම් වූ තරගාවලිය තුළින් ඒ අතපසු වීම් සැඟ වී ගියේය. වසර තුළ කණ්ඩායම නම් කිරීමේ සිට දකුණු ආසියානු තරගාවලිය දක්වා ගත් විට විදේශික පුහුණුකරුවන් සමඟ ක්‍රීඩාව සම්භෝගයේ යෙදැවීම හැරෙන්නට ධනාත්මක තත්ත්වයක් ක්‍රීඩාව තුළින් දැක ගන්නට නොහැකි විය. පෙත්සම්කරුවන්ගේ බලපෑම් සහ සෘජු තීරණ ගැනීමේ දී දක්වන දුර්වලතා ද, ක්‍රීඩකයන්ගේ සුවිශේෂී හැකියාවන් සහ වෘත්තීය මට්ටම් අගය කිරීම වෙනුවට ඒවා සිය අණසකට යටත් කර හිර කර තබා ගන්නට දැරූ උත්සාහයන් නිෂ්ඵල වීමෙන් හට ගත් කෝන්තර නිසා ද ඇතැම් ක්‍රීඩකයන්ට සිය දක්ෂතාවලින් රටට ලබා දිය හැකි දේ ලබා දීම වෙනුවට ජාතික කණ්ඩායමේ තරග නරඹන්නන් බවට පත් වෙන්නට සිදු වූ තත්ත්වයන් ද වාර්තා විය.

දකුණු ආසියාතික තරගාවලියකින් ඊ ළඟ තරගාවලියට ප්‍රවේශ වන විට දකින්නට ලැබුණේ කඩාවැටීමකි; බිඳවැටීමකි. එය ඉහත ඡේදයේ දක්වා ඇති කරුණු හේතුවෙන්ය යන්න පිළිගැනීමට හෝ පරිපාලනය අවංක වේ දැයි අපි නොදනිමු. මේ තත්ත්වයන් සම්බන්ධයෙන් එක මතයක පිහිටා අදහස් දැක් වූ පිරිස් නිලතලවලට පත් වීමෙන් ඉනික්බිති පුටුවල උණුසුමෙන් කණපිට ගසා තිබීමේ ඛේදවාචකය එබඳුය.

මෙවර දකුණු ආසියාතික තරගාවලියට සහභාගී විමේ දී ගුවහති බිමේ විජයග්‍රාහී මඟපෙන්වීමක් කළ පුහුණුකරුවන් වූ චාල්ස් තිලකරත්න හෝ ඔහුගේ සහායට සිටි නලීන් සම්පත් පළාතකවත් නොසිටියහ. චාල්ස් තිලකරත්න හංගේරියානු පුහුණුව හරහා පුහුණුකරුවෙක් ලෙස තවත් පියවරක් ඉදිරියට තබා පැමිණෙන විට ඊට විදේශ ආදේශකයක් සොයා ගන්නට වොලිබෝල් පරිපාලනය කටයුතු කර තිබිණ. චාල්ස් වෘත්තීයමය වශයෙන් සිය පාසල් කණ්ඩායම් පුහුණු කරනවා හැරෙන්නට පළමු පෙළ ජාතික කණ්ඩායමක් පුහුණු කිරීමෙන් මෙපිට ජාතික තලයේ පුහුණු වගකීමක් නොදරන බවට දී තිබෙන ප්‍රතිඥාව අගනේය. ලැබෙන කුමන හෝ කණ්ඩායමක් රැගෙන විදෙස්ගත වන්නට බලා සිටින පිරිසට මෙය අපූරු උත්තරයක් සහ ආදර්ශයකි.

නමුත්, පරිපාලනය තවමත් දකුණු ආසියාතික පරාජයේ හෙලුව වෙරළ වොලිබෝලයේ ජයග්‍රහණවලින් වසා ගන්නට අසාර්ථක උත්සාහයක යෙදෙනු විනා සැබෑ තිත්ත පරාජය ගැන විග්‍රහයක නියැළී එළැඹෙන තරගාවලිය වෙනුවෙන් සංචිතගගත වීමට උත්සාහයක් දරනු නො පෙනේ. ඒ උත්සාහය හෘදයමය වශයෙන් වොලිබෝල් සමඟ රැඳෙන්නකුට මෙවර ජාතික ශූරතාවලිය හොඳ උත්තේජනයක් ලබා දෙන්නේ ය. මාස් වැනි කණ්ඩායමක් අනු ශූරතාව දක්වා පැමිණ සිය මල්වර වීම මේ තරගාවලිය හරහා සමරද් දී, ඒ අලු‍ත් වීම්වලට පරිපාලනය ඉක්මන් ප්‍රතිචාරයක් දැක්වීමට පියවර ගත යුතුය.

ගුවහති ජයග්‍රහණයේ මඟපෙන්වන්නන්ට බෙදපු වැරදි හැන්ද ඉවත් කර නැවත චාල්ස් තිලකරත්න සහ නලීන් සම්පත් අබේසිංහ කැඳවන අතරම මීට පෙර ද ‘ලංකා’ පෙන්වා දුන් චන්න ජයසේකරගේ හැකියාවට එකතු කරන්නට මෙවර තරගාවලිය හරහා එකතු වූ නිශාන් ඉන්දිකගේ පුහුණු හැකියාව ද දැන් සුපැහැදිලිව පෙනෙන්නට ඇත. යුද හමුදා කණ්ඩායමට කලකට පසුව ජාතික ශූරයන් වෙන්නට චන්න මඟ කියූ ආකාරයෙන් ම අලුත් මාස් කණ්ඩායම අවසන් තරගයට රැගෙන එන්නට නිශාන් ඉන්දිකගේ මඟපෙන්වීමට ද හැකි විය. එවන් තත්ත්වයක තරගාවලිය තුළ කැපී පෙනෙන ක්‍රීඩක හැකියාවන් ජනිත් සුරත්ගේ සිට මහේල ඉන්දීවර දක්වා පෙළගැස් වූ විට අනාගතය කළුවර නැත. නමුත්, ඒ සියල්ල හැකියාව ම පමණක් සලකා පෙළගැස්විය යුතු අතර, ඔවුන්ට ක්‍රීඩක ජීවිතය තෘප්තිමත් කර ගන්නට අවශ්‍ය විදේශීය තරග සඳහා විදේශීය ක්‍රීඩා සමාජ සමඟ එක් වීමට හැකි වටාපිටාවක් සකස් කර දීමට උනන්දු විය යුතුය. ඒ වැඩපිළිවෙළට වොලිබෝල් පරිපාලනයට මැදිහත් විය හැකි ඒ කෙරෙහි සම්පූර්ණයෙන් අවධානය තබා වැඩ කළ හැකි පරිපාලන නායකත්වයක් ද අවශ්‍ය කරන අතර, තරග සඳහා පමණක් නොව ජාතික සංචිතය පවත්වා ගැනීමට අවශ්‍ය අනුග්‍රහයන් කෙරෙහි ද වොලිබෝල් පරිපාලනයේ අවධානය යොමු විය යුතුව ඇත. ජාතික ක්‍රීඩාවට එවැනි ආකර්ෂණයක් ලබා ගන්නට මෙන්ම එය අඩුම තරමේ දකුණු ආසියාවේ පළමු තැනට පත් කිරීමට හෝ සම්පූර්ණයෙන් අවධානය සහ කාලය යොදවා ඉදිරි වසර දෙක සඳහා සූදානම් වීම අත්‍යවශ්‍ය කාරණයකි.

හිත සතුටු කරන, ඡන්ද පදනම රැකගැනීම වැනි වොලිබෝල් භාවිතාවේ ප්‍රගමණයට අදාළ නොවන කාරණාවලින් ඈත්ව වොලිබෝල් පවතින යෝජනාවලියක් හරහා බලය සුරක්ෂිත කර ගැනීමකට පරිපාලනය පිවිසිය යුතුය. සංචාර බෙදා දෙන තැනක් නොවී වසර දෙකක ඉලක්කයකට හෝ ජාතික සහ කනිෂ්ඨ පුහුණු සංචිත සහ ඒවාට ස්ථීර පුහුණුකරුවන් නම් කර ක්‍රියාවට නැංවිය යුතුය. කාන්තා කණ්ඩායම තව බොහෝ දුර යා යුතුව ඇත. දකුණු ආසියාවේ ද දැඩි කඩාවැටීමකට හසුව තිබෙන කාන්තා කණ්ඩායම ගැන පසුගිය වසර කිහිපය තුළ මතු කළ විවේචන කියුබන් ගායෙන් නො ඇසූ කන්ව සිටින්නට පරිපාලනය මෙහෙයැ වූ අය දැන්වත් ලංකාවට බැස මේ පොළොවේ ඇත්තට සංවේදීව මුහුණ දිය යුතුව ඇත. විවේචනවලට උරණ වීමේ හෝ කිපීමේ දුර්වලතාවය වෙනුවට ඒවා සාධනීය, මිත්‍රශිලී ලෙස පිළිගැනීමට පරිපාලනය වෙනස් වන්නේ නම් අපූරුය. ඇඳුමේ තැනෙකින් ඔබේ නිරුවත නිරාවරණයව තිබෙන බව පෙන්නූ විට එයට කෝප ගෙන ඉවත බලාගෙන නොතකා යාමෙන් සිදු වන්නේ තවත් බොහෝ පිරිසකට නිරුවත නිරාවරණය වීම පමණි.

ඒ නිසා අපි පරිපාලනයට කියන්නේ, ඇඳුම හදා ගන්නට මැලි නොවන ලෙසයි.

නිශ්මං රණසිංහ

Leave a Response