සාහිත්‍ය - කලා

මකරානන්දයේ ආනන්දය

154views

(මකරානන්දය කෘතිය පිළිබඳ විචාරයක්)

මාහේන මීට පෙර සාහිත්‍යයේ ප්‍රසිද්ධ වූයේ එස්. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ‘මාහේනේ රීරි යකා’ නිසාය. මෙවර මාහේන ප්‍රසිද්ධ වන්නේ මාහේනට නුදුරු වැවේ ගමේ ඉදි වන තඹර වෙහෙර හා එය කරවන මිනිසුන් පිළිබඳව ලියැවෙන රීරි යකාටත් වඩා අස්වාභාවික කතා පුවතක් නිසාය. කතාව ආරම්භයේ සිට අවසානය දක්වාම නොමේරූ (Childish) ගෙත්තමකි. සාම්ප්‍රදායික කතා කීමේ ශෛලියෙන් මිදීමට කතුවරිය තාක්ෂණික උත්සාහයන් කිහිපයක් ගෙන ඇත. කතාව පුරා ඇත්තේ, අංකුර කතාකරුවකුගේ ශෛලියයි.

‘හඳ පළුව තනි තරුව’, ‘අසන්ධිමිත්තා’ වැනි තත්කාලීන සම්මානලාභී නවකතාවල භාවිත වූ කතාව ලියන කතුවරයා කතාවට පටලවා ගැනීම මෙහි දී ද සිදු කර ඇතත්, එය පෙර සේම පාඨකයාගේ කියැවීම් බරට තවත් විඩාවක් පමණි.

මෙතෙක් සිටි ‘සර්පයන්’, ‘දිමියන්’ වෙනුවට දුර්මත නියෝජනය කරන්නේ රාජාලියෙකි. අතරින් පතර අධිතාත්වික (macgical realism) රීතිය භාවිත වුව ද, සමස්ත කතාව ගත් විට එය පෑනට ‘බ්‍රේක්’ නැති වීමක් බව පෙනේ.

දීර්ඝ විස්තර කිරීම් මෙන්ම එකම උපමේයට උපමා ද්විත්වය බැගින් යෙදෙන තැන් ද පාඨකයාට වෙහෙසක්ම දනවයි. එසේම ව්‍යාකරණ භාවිතයේ දී වැරදි ද සුලබව දක්නට ලැබේ.

“…කාන්තාවක ද, වයස අවුරුදු පහක පමණ කුඩා ගැහැනු දරුවෙකු ද වූවෝය.” (පිටුව 185)

බස් වහරේ ඖචිත්‍යය ප්‍රශස්ත ලේඛනයකට නොගැළපේ.

මුස්ලිම්වරුන්ගේ දෙබස් ‘නල්ලතම්බි’ සිහිපත් වන අතර, රන්මැණිකා ලියවන ලියුම ‘පොඩි එකාගේ ලියුම’ සිහිපත් කරවයි.

භාෂාවේ ග්‍රාම්‍ය බව කතාවේ සබුද්ධික බව පළුදු කරයි. කතාවේ මිනිසුන් ‘දඩිස් බිඩිස්’ ගා ඇවිදිති. ‘හක හක’ ගා සිනාසෙති. නැති නම් ‘බක බක’ ගා සිනාසෙති. ඔවුන්ට බකස් ගා සිනා යති.”

කතාවේ සිදුවීම් මුල, මැද, අග අභව්‍යය. විශ්වසනීයත්වය අවම කරවයි.

සිතා ගත හැක්කේ මේ ගම බිහි වූයේ ගොවිතැනට හොර වූ ගොවිගම මිනිසුන්ගෙන් බවය. සමසමාජයට පක්ෂපාතී බණ මඟින් රැකියාව වෙනුවෙන් ප්‍රාණඝාතය සාධාරණීයකරණය කරනු ලැබ ඇත. ‘සම්මා ආජීවය’ (මස්, මාංශ වෙළෙඳාම ද ඇතුළු) හැර අනෙක් බොහෝ ධර්ම කරුණු ‘මකරානන්දයේ’ ඇත. එයින් නොනැවතී, නංහාමි මිය යන මොහොතේ ඔහු මාර්ග ඵල ලැබුවා යැයි සිතිය හැකි සහතිකයක් ද ලබා දෙයි.

“අම්මාපල්ලා බඹරුන් අත වරද    නැතී

කැලේ තිබෙන මල් කාලා උන් රැකෙතී

අනුන් කරන ගොවිතැනකට හානි නැතී

බඹර කපන අය නරකාදියේ          යතී”

බඹර කපන ගැමියා තුළ ඇති හෘදයසාක්ෂියවත් මේ අතිශය ශ්‍රද්ධාසම්පන්න මස් මරන්නා තුළ නැති වීම අරුමයකි.

කතාව අවසානයේ බුද්ධාගම ප්‍රචලිත කරන්නේ විස්කි බොන, මාළු ඇහැට ගෑරුප්පුවෙන් ඇන කටේ දමා ගන්නා, රෑට බත් නොකා තම්බපු එළවළු කන, ළාබාල නිළියන් සමඟ ශෘංගාරය අත්විඳින, ඒවායේ කූටප්‍රාප්ත, අධි මිල පරිභෝජන භාණ්ඩ අත්විඳින, ආරණ්‍යවාසී හිමිවරු ගෙන්වා ඉංගිරිසියෙන් බණ කියවන, මෙඩිටේෂන් කරවන, කාබනික (organic) ආහාර ගැන උනන්දු ඩෙනිස් නම් වූ ලංසියාය. ද්විභාෂා (අප දන්නා තරමට) උගතකු වන ඔහු අර්ථයෙන් ධර්මයෙන්, කාමයෙන් පමණක් නොව අසාධාරණයක දී ගුටිබැට දීමේ කාය බලයකින් ද, හාස්‍ය රසයකින් ද යුතු අයකු බව කතාව කියැවීමේ දී පෙනී යයි. ඔහුගේ ‘දීඝායු’ හෝටලයේ ගෘහනිර්මාණ ශිල්පය විශිෂ්ටය. ඔහුට අනුව සිංහල සංස්කෘතිය රැකෙන්නේ සිංහලයා අතින් නොව සුළුතර විදේශීය සම්භවයක් ඇති ශ්‍රී ලාංකිකයන්ගෙනි.

ඩෙනිස්ගේ චරිතය විග්‍රහ කළ හැක්කේ ‘බොහිමියනිසම්’ (Bohemianism) ක්‍රමයට නෑකම් කියන හුදෙකලා චරිතයක් ලෙසය.

බුද්ධාගම ඊටත් පසුව භාර ගන්නේ ඊටත් වඩා ධනපති, බකිංහැම් මාලිගය සමඟ ද සබඳතා පවත්වන ඉංග්‍රීසි ජාතික පෝල් වෝල්ඩමෝර් නම් සුද්දාය. ඔහුගේ පන්තිය විග්‍රහ කළ හැක්කේ ‘අපර් එලයිට් ක්ලාස්’ (upper elite class) ක්‍රමයකටය.

Nikos Kazantzakis ගේ ‘සොර්බා ද ග්‍රීක්’ (Zorba the Greek) කතාවේ සොර්බා සහ කතාකරුගේ චරිත පැහැදිලි පරස්පරතාවන්ගෙන් යුතු විය. බුද්ධිමය දේ තුළ සිටි කතාකරුට සොර්බා රසවිඳීම (Zorba Dance) උගන්වයි.

මේ චරිත දෙක අළලා භගවාන් ශ්‍රී රාජ්නීශ් (ඕෂෝ) ‘සොර්බා ද බුද්ධ’ (Zorba the Buddha) නම් ආන්දෝලනාත්මක කතිකාවක් ගෙන ආවේය. අන්ධ (Blind) සහ කොර (Cripple) චරිත දෙකක් ඇසුරින් ඔහු බුද්ධත්වය විග්‍රහ කළේය. මේ අර්බුදකාරී ප්‍රකාශය හමුවේ ශ්‍රී ලංකා තානාපතිගේ අප්‍රසාදයට පිළිතුරු දුන් රාජ්නීශ් බුද්ධ යනු ඔබගේ සිද්ධාර්ථ ගෞතම පමණක් නොවන බවත්, ඕනෑම මොහොතක ඥානය අවදි කර ගත් (enlightened) තැනැත්තා බවත් ප්‍රකාශ කර සිටියේය.

ශාක්‍ය රාජ මාලිගාවේ සංස්කෘතිය අතහැර මහමඟට පිවිසි සිද්ධාර්ථ ගෞතම කොර බව පවසද් දී, රාජ්නීශ් ලොව වැඩිම ‘රෝල්ස් රොයිස්’ කාර් එකතුවේ හිමිකරු වී සිටියේය.

තමා කැමැති ඕනෑම මතවාදයක් පිළිබඳව නිර්මාණකරණයේ යෙදීමේ කතුවරයකුගේ අයිතිවාසිකම පිළිගත යුතුය. (උදා: දැතිරෝදෙන් උපන් බුදුන්) ඒ අනුව හාමුදුරුවන් ධාතු පහ කිරීමෙන් ලද ප්‍රීතිය ද අප සාහිත්‍යය තුළ ලිඛිතය.

‘කුන්ග්ෆු’ රූපවාහිනී කතා මාලාව බුදුදහම පිළිබඳ ගැඹුරු පාඩමක් ලොවට දායාද කළේය.

ෂැවොලින් ආශ්‍රමයේ ගෘහනිර්මාණ පාමුල ශිෂ්‍ය කේන් (Kwai Chang Caine) තම ගුරු හිමි (Kan)ගෙන් අසන්නේ, ”මෙපමණ අල්පේච්ඡ දහමක අපි කුමකට මේ සම්භාව්‍ය දේ හදාරමින් සිටිමු” ද යන්නය. එහි දී ගුරුතුමා දෙන පිළිතුර වන්නේ, “හැකිළීමට ඔබ මුලින් පිම්බී සිටිය යුතුයි” යනුවෙනි. සුප්‍රසිද්ධ ‘වෝනර් බ්‍රදර්ස්’ තම නිෂ්පාදනයක එක් දෙබසකින් පොතක පිටු ගණනකට වඩා ගැඹුරක් දී ඇත.

 ග්‍රාමසේවකගේ කකුල ගල් කුඩු කරන කුරහන් ගලේ ඇඹරීමට ඉඟි කර තර්ජනය කරන ක්‍රිමිනල් චරිත ද, පාංශුකූලයට නොවඩින බව කියන හාමුදුරුවන්ට “හෙනං අපේ මිනි කුණු වෙයි” කියා අභියෝග කරන රැඩිකල් චරිත ද හඳුන්වා දෙයි.

තම පන්සලෙන් එළවා දැමෙන වැවේ ගම්වැසියන් වැව් ගමේ තඹර වෙහෙර නිර්මාණය කළ විට එය විනාශ කිරීමටද ගම්වැසි බෞද්ධයෝ පැමිණෙති. නමුත්, වෙහෙරට කොත සාදා දෙන්නේ මුස්ලිම් ජනතාවය. වෙහෙර අලංකාර කිරීමට තිරිවානා ගල් කුඩු කර හලන්නේ දෙමළ ඩී.ආර්.ඕ. මහත්තයාගේ වේට්ටියෙන්ය. රෙද්දකින් ද්‍රාවණයක් පෙරා ගැනීම මිස ගල් කුඩු හලා ගැනීම කෙසේ කළ හැකි ද යන්න තර්ක කිරීම නිෂ්ඵල වන්නේ මුළු කතාවම එවැනි වේට්ටිවලින් නිර්මාණය වී තිබීම නිසාය. සිමෙන්ති, සෙරෙප්පු, රෙදි, භූමිතෙල්, පාන් පිටි තියෙන සමුපකාරයේ ගල් කුඩු හැලීමට පෙනේරයක් නැති දැයි ඒ අනුව විමසා පලක් නැත.

නංහාමි සිංහලයා කුඩාය. දෙමළ ඩී.ආර්.ඕ. මහත්තයා ඔහු ඉදිරියේ යෝධයෙකි. එසේ දැකීමට කතුවරියට ඇති අයිතිය පිළිගත යුතුය.

“මහරාජා ආ කල ගෙට තිරික්කලෙන් බැහැලා

කුණ්ඩුමණී යන පෙරහැර බලා හිඳමි කීකරු වීලා”

යනුවෙන් එදා ලියූ ප්‍රේමකීර්ති මහාරාජාව ද, කුණ්ඩුමණීව ද, සිංහලයාව ද එකිනෙකාට පුංචි කළේ නැත.

අලුත්ම බෞද්ධ බෞද්ධ හටනක් ‘මකරානන්දය’ නිර්මාණය කරයි. අසල ගමේ බෞද්ධයෝ තඹර වෙහෙරට කළු තෙල් වත්කරති. වෙහෙර විනාශ කිරීමට එන බෞද්ධයන්ගෙන් වෙහෙර රැකීමට වැවේ ගමේ බෞද්ධයෝ සැරසෙති. තවත් දිනක වැවේ ගමේ පුදුම ඉලව් ගෙදරක් වෙයි. ඒ ඉලව් ගෙදරට ගමේ සෑම පිරිමියකුටම යාමට සිදු වෙයි. කතුවරිය දැන් තඹර වෙහෙර රක්කවන්නේ ගැහැනුන්ගෙනි. ඒ ගැහැනුන් කතා කරන්නේ සංඝමිත්තාගේ සහ හේමමාලාගේ ඔසප් වීම ගැනය.

මෙය නවකතාවකට වඩා ‘මෙගා’ තිර රචනාවක ලක්ෂණ පෙන්නුම් කරයි.

සාටෝප ලියැවිලි (Rhapsody) කිහිපයක් හෝ වැරදුණු මහා කාව්‍යයක ලක්ෂණ පෙන්නුම් කරයි. කවි පන්ති සහ කතා මැද කතාය. නම් හා ගම් මතක තබා ගැනීමට බැරි තරමටය.

තවත් කරුණු අතර, මකරා චීන ආක්‍රමණය සංකේතවත් කළ ද, එය රැජිණගේ රෙද්දට යැවීමෙන් එය ද ලොප් වී යයි.

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර, ඇන්. ඇම්., සමුපකාර කූපන්, භූමිතෙල්, සුවඳ රෙදි, නැවිකට්, මැලතියන්, මැලේරියාව, මුවන් පැලැස්ස, ලැම්බට් පෙම්මාවඩු, ගුවන්විදුලි රඟමඬල, කෑලි පහේ ටෝච් එක, ගියර් පහක් ඇති නිල් ඉර සහිත බස් එක. ජේ. ආර්, නයිට් රයිඩර්, ගම්උදාව, කටුනායක, නෙළුම් කුලුන, අල්ටෙයාර් යන වචන පෙළගැස් වූ පමණින් එය තවත් ‘ගම්පෙරළියක්’ වන්නේ නැත. එහි අපූර්වත්වයක් නැත. මෙම කාල පරාසය තුළ සප්‍රාණිකව සිටි සබුද්ධික මිනිසකු අනිවාර්යයෙන් දකින දෙයට වඩා පහත් දැක්මක් ‘මකරානන්දයේ’ ප්‍රතිනිර්මාණය කර ඇත.

පද්ම ශ්‍රී යනු නාරද උපැවිදි වූ පසු නාමයයි. නාරද තුළ පෙන්නුම් කරන්නේ ප්‍රාණඝාතයට ලොල් මානසික රෝගියකුගේ ලක්ෂණය. ඒ තත්ත්වය දිගටම පවත්වා ගැනීම අපොහොසත් වන කතුවරිය සිවුර ලූ නාරද පද්ම ශ්‍රී බවට පත් කරන්නේ, ප්‍රාණඝාතය වෙනුවට සුදු කරපටි (white collar) සොරකුගේ බියසුලු ලක්ෂණ ඔහු වෙත දායාද කරවමිනි. එසේ නොවන්නට ඔහු ලවා ජ්‍යොතිෂ්‍යයට හා දේව සංකල්පයට පහර ගැසීමේ නිමිත්ත අහෝසි වන්නේය.

‘කුකුරුමාන කතා වස්තුව’ කොටසේ එන කුකුරුමාන ගෙඩි මුළාවේ සංකේතය ලෙස භාවිතය. කුකුරුමාන මුලින්ම සාහිත්‍යයට පිවිසෙන්නේ ආර්. එල්. ස්පිට්ල්ගේ Vanished Trails හරහා ය. කුකුරුමාන (Catunaregam Spinosa) ශාකයේ ගෙඩි තෝරා ගත් මත්ස්‍ය වර්ග කිහිපයක් මත පමණක් පේශිමය බලපෑමක් ඇති කරන මිනිසුන් කෙරෙහි මත් බවක් ගෙන නොඑන ඖෂධමය ගුණ ඇති ඵලයක් වුවත්, කතුවරියගේ සංකේතය ප්‍රබන්ධයකට සැලකිය යුතු බාධාවක් නොවේ.

මිනිසුන් රැවටීමට කුකුරුමාන ගෙඩි රැගෙන ගමෙන් පිට වන්නේ සිවුර ලූ නාරද හාමුදුරුවන්ය. කතුවරිය පැවිදි නාරදගේ සිවුර කිහිප වරක්ම ගලවන්නේ පව්කාර ක්‍රියාවන් සඳහාය. ඊ ළඟට උපැවිදි වීම සඳහා එය ගලවයි. එයින් නොනැවතී සොර චීවරධාරියකු ලෙස නැවත සිවුරු අන්දවා නැවත නීතියෙන් ගලවා හිරගෙට තල්ලු කරයි.

1931 වසරේ දී වෙනත් කරුණු අතර, නෝනාහාමි නම් ස්ත්‍රියක සමඟ සංසර්ගයේ යෙදුණු ධම්මානන්ද හිමියන් සම්බන්ධව තංගල්ල දිස්ත්‍රික් උසාවිය තීරණය කරනු ලැබුවේ, හාමුදුරුවන් හීරළුවකු වූ බවයි. නමුත්, අභියාචනයේ දී මාටින්ස් විනිසුරුතුමාගේ තීරණය වූයේ ධම්මානන්ද හිමි ස්ත්‍රියක සමඟ සංසර්ගයේ යෙදීම සඳහා සිවුර ගැල වූ නමුත්, නැවත පොරවා ගත් නිසා උපැවිදි වූ බවට වන දිසා විනිසුරුතුමාගේ තීන්දුව වෙනස් කරන බවයි.

‘මකර චෝර කතා වස්තුව‘ කොටසේ දී පන්ති ප්‍රක්ෂේපණය ප්‍රමාණයට වඩා වැඩිය. මිනිසත්බව උසස් වන්නේ එක්තරා උත්තරීතර (Paramount) පන්තියක් වෙත ළඟා වීමෙන් පමණක් බව පෙන්වීමට වෑයම් කරනු ලැබ ඇත.

මහ රෑ රන්මැණිකාගේ ගෙදරට දිව එන තරුණයා, “සහෝදරයා” යන්න උච්චාරණය කිරීමේ දී “හොස්” ගාන බව කතුවරිය කියයි. උදෑසන මිනිස් දත් දෙකක් අහුලා ගන්නා රන්මැණිකා “ලේනෝ ලේනෝ මේ දත අරගෙන කැකුළු දතක් මට දියෝ” කියා මිනිස් දත් දෙක වහළයට විසි කරයි. මේ තරුණ කැරැල්ලක දිග පළලය.

මහ පොළොව මත ලේ වැටී තිබිය දී කතුවරිය පවසන්නේ, “කිසිදු දේශයක මවු පොළොව  තම දරුවන්ගේ රුහිරු බීමේ පිපාසාවෙන් නොපෙළෙන බව පැහැදිලිය” යනුවෙනි. රුසියානු සාහිත්‍යයේ දී ‘හතළිස්එක් වැන්නා’ පවසන්නේ, මාතෘභූමිය හා විප්ලවය යන දෙකම ලේ ඉල්ලන බවය.

පිරිසක් ඉදිරියේ මකර චිත්‍රය අඳින තරුණියකට තම පූර්ව මතකයන් හා බද්ධව මකර රූපයකින් නිරූපණය වන සත්ව අංග සමඟ ලිංගික ආස්වාදනීය (erogenous) තත්ත්වයක් ඇති වීම විරල මානව (anthropological) අත්දැකීමකි. එය දීර්ඝ විස්තරයකින් ශෘංගාරය ලෙස හැඳින්වෙයි. නමුත්, සර්පයා ස්ත්‍රියට ද, මඩු මාළුවා ධීවර පුරුෂයාට ද ලිංගික ප්‍රතිනිර්මාණයක් බවට වන කටකතා ඊට වඩා ප්‍රායෝගිකය. (Bestiality)

කතාවේ තේමා පාඨය වන ‘භද්දේක රතන’ සූත්‍ර ගාථාවට සම්බන්ධ වන්නේ ‘කෝකටත් තෛලයක්’ වන ලෙසින්ය. ‘ප්ලැටූන්’ (Platoon) සිනමා තිර රචනයේ තේමාව ‘යෞවනය භුක්ති විඳින තරුණය, ප්‍රීති වනු !’ (Rejoice O! young man in thy youth) යන බයිබල් ප්‍රකාශයයි.

එහි ප්‍රතිවිරුද්ධතාවට යුද්ධයෙන් පීඩා විඳින සොල්දාදු තරුණයන්ගේ වේදනාව හරියටම පෑහේ.

ඩිංගිරි මුදියන්සේලාගේ සෝමාවතී වැව් බැම්ම කඩා පෝල් වෝල්ඩමෝර්ගේ බිරිඳ වීම හොඳය. කතාවේ බොහෝ සිද්ධි මෙන්ම මෙය ද අහම්බයක් නිසා ලංකාවේ තවත් බොහෝ ගැහැනුන්ට ඒ ලොතරැයිය ඇදේවි යැයි සිතීම උගහටය.

නමුත්, සෝමාවතී පැතූ දේ ඇයට ලැබීම ගැන ලියුම්කරු සතුටු වෙයි.

දැන් ඇයට සිංහල සුභාවිතය මහජනයාගෙන් වෙන් වී ඉංග්‍රීසියෙන් රසවිඳිය හැකිය. බණ මඬුවේ ඉඳගෙන ග්‍රාමවාසී හිමිවරුන්ගෙන් සිංහලෙන් බණ අසනවා වෙනුවට ආරණ්‍යවාසී විදෙස් ධර්ම ප්‍රචාරක භික්ෂුන්ගෙන් ඉංග්‍රීසියෙන් බුදු බණ ඇසිය හැකිය. ඇයට රට රටවලට කරදරයක් නැතිව වීසා වදී. දැන් ඇය අඳින්නේ බිස්නස් වැඩවලට යූ.එස්.ඒ. යන සැමියා ගෙන එන ‘වික්ටෝරියාස් සීක්‍රට් බ්‍රෑන්ඞ්’ යට ඇඳුම්ය. (වැව් දියේ කිළි රෙදි ගිල්ලවා සේදීම දැන් ඇයට අවශ්‍ය නැත.) ඇය දැන් වෛද්‍ය ප්‍රතිකාර සොයන්නේ සිංගප්පූරුවෙනි. රට රටවල වාසය කරන ඇය බකිංහැම් මාලිගය ද ඇසුරු කරයි. මහත්තයා සමඟ සිංගප්පූරුවේ ක්ලාකිවල ගං දියේ රෑ බෝට්ටුවල පාවෙයි. තව ද, ‘මරීනා බේ’ හි (ලියුම්කරු නොදන්නා බොක්කකි) කල් ගත කරයි. මහ පොළොවේ සීමිත සම්පත්වලින් ඇයට ලැබුණු කෝටා එක පිළිබඳව ලියුම්කරු යළිත් සතුටු වෙයි. (ඇන්. ඇම්. හා සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ගැන ඇය දැන් නොසිතුවාට කම් නැත.)

මකරාගේ වඳුරු ඇස්වලින් නියෝජිත ස්ත්‍රී දූෂණය කරන ශෘංගාරය නොහඳුනන, ගැහැනුන්ගෙන් යැපෙන, බූරු ගසන, කසිප්පු බොන, ගෑනුන්ගේ අතින් පයින් හා තරාදි පඩිවලින් ගුටි කන දුප්පත් සිංහලයාට වඩා මේ ධනපති අවුරුදු දහඅටක් වැඩිමහල් “පරිස්සමින් සංවර විදියට ගිනි පිඹ තලත්තෑනි මකරකු වගේ ප්‍රේම කරන” සුද්දාව කසාද බැඳ ගත් එක හොඳය. ඒ සුද්දා රෝද පුටුවේ යනෙන කොර (Cripple) කෙනකු වීම ගැන වඩාත්ම සතුටු වන්නේ ලියුම්කරුය. මන්ද දැන් ලෝකාස්වාදරතියේදීවත් ඩිංගිරි මුදියන්සේලාගේ සෝමාවතී පිරිමියකුට යට විය යුතු නැති නිසාය.

දේවප්‍රිය හුලත්දුව

Leave a Response