ක්‍රීඩා

මිණිපේ මැණික් කැදැල්ලේ වටිනාම මැණික

107views

ජයරත්න සහ පොඩි මැණිකේ යුවළ නමින්ම මැණික් වූහ. රත්න මෙන් ම මැණිකේ යන්නෙහි ද අරුත එබඳුය. මිණිපේ, හඳගනාව ගමේ ජීවත් වූ මේ දෙදෙනාගේ ලෝකයට 1995 අප්‍රේල් 7වන දින එකතු වන ඊ. එම්. බී. ජී මධුෂානි මේ මැණික් අතරට එකතු වූ විට ජයරත්න සහ පොඩිමැණිකේ ඒ දෙපළට මහත් සතුටක් එකතු කළ ද, බොහෝ දෙනා ඒ එකතු වීම අවාසනාවක් සේ දකින්නට ඇත. ඒ මධුෂානිට උපතින් ම වමතේ වැලමිටෙන් පහළ කොටස අහිමි වී තිබීම නිසාය.

අහිමි වූ වමතත් සහිතව අනේකවිධ දෝමනස්සයන් සමඟ මධුශානි සටන් කරන්නට වූවාය. ඒ අඩුව, පිරුණු ජීවිතයකට බාධාවක් කර නොගන්නා හැටි ඈ උගත්තාය.

හඳගනාව මහ විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ උසස් ලෙස සමත් වන අතර, අ.පො.ස. උසස් පෙළ මහියංගණය ජාතික පාසලෙන් ඉහළින් සමත් වන ඇය මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ සිසුවියකි.

අනතුරුව ඇය වෙනස් අවශ්‍යතා සහිත අයකු ලෙස තමන්ව ක්‍රීඩාව විසින් කොයි ආකාරයෙන් පිළිගනීවි දැයි යන සැකය දුරු කර ගන්නට තීරණය කළා ය. තමන් ක්‍රීඩාවෙන් ඈත් කර දැමූ ඒ කුකුස ඉවත් කර ගන්නට නම් ඊට මුහුණ දිය යුතු බව මධුශානි තීරණය කළාය. එය ජීවිතයේ තවත් අලු‍ත් පියවරකි. ඇය එම අභියෝගය ද ජය ගත්තා ය. 2019 ජාතික පැරා ක්‍රීඩා උලෙළේ දී මීටර් 100 හා මීටර් 200 ඉසවු සඳහා රන් පදක්කම් ද, දුර පැනීම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ද දිනා ගන්නා ඇය තමන්ගේ දක්ෂතාවන් රට ඉදිරියේ තබන්නට සමත් වූවාය. ඒ ඇයගේ පළමු අවස්ථාව විය. ඒ සඳහා ඇයට ශක්තියක් වූ තමන්ට මඟපෙන්වමින් මෙතෙක් දුර තමන් රැගෙන ඒමට කටයුතු කළ මවුපියන්ටත්, මිණිපේ ප්‍රාදේශීය ලේකම්තුමියට හා සමාජ සංවර්ධන නිලධාරීතුමාට තම කෘතඥතාව පළ කිරීමට ඇය අමතක නොකළාය.

මැණික් යුවළට සැබෑ ම මැණික ලැබී ඇති බව දැන් තවත් බොහෝ දෙනෙක් පිළිගන්නවාට සැක නැත.

■  රෝස් පෙ‍රේරා

Leave a Response