හෙළිදරව්ව

පිස්තෝලයෙන් හඬපටවලට මාරු වූ ‘රන්ජන් ජවනිකාව’

156views

මෙතැන් සිට දිගහැරෙන්නේ රන්ජන් රාමනායකගේ හඬපට එකින් එක කරළියට පැමිණීමේ ජවනිකාවයි. අත්අඩංගුවට ගත් දින සිට ගත වූ සෑම දිනකම මාධ්‍ය සාකච්ඡාවලදීත්, සිදු කෙරෙන පැමිණිලිවලදීත් මාධ්‍ය සාකච්ඡාවලට ප්‍රකට භික්ෂුන් තුන් දෙනෙක් මෙවැනි හඬපට මාධ්‍ය වෙත නිරාවරණය කරනු ලැබීය. විවිධ සංවිධානයන්ගේ නම් වලින් පෙනී සිටින තවත් කිහිප දෙනෙක් මේ හඬපට සාක්ෂි වශයෙන් යොදා ගනිමින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණිළි ඉදිරිපත් කරන අයුරු ද මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබීය. කෙසේ වෙතත් දැන් රන්ජන් රාමනායකගේ යයි සැක කෙරෙන හඬපට දහයකට වැඩි ප්‍රමාණයක් සමාජ මාධ්‍ය තුළ ද සංසරණය වෙමින් පවතියි. ශානි අබේසේකර, මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය, විනිසුරු පද්මිණී රණවක, මහේස්ත්‍රාත් ධම්මික හේමපාල සමග පමණක් නොව විමල් වීරවංශ ඇමතිවරයාගේ බිරිඳ වන ශශී වීරවංශ සහ පියුමි හංසමාලි සමග කළ සංවාද යැයි කියවෙන හඬපට ද මේ අතරට ඇතුළත්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පසුගිය 04 වැනිදා සවස අත්අඩංගුවට ගනු ලැබූයේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවසේදීය. ඒ බස්නාහිර දකුණ පොලිස් අපරාධ කොට්ඨාශය විසිනි.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලද සෝදිසි වරෙන්තුවක් මත ඔහුගේ නිල නිවස පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබූ අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවෙන් ලබා දෙන පිස්තෝලයේ බලපත්‍ර අලුත් කර නොතිබීම නිසා එය පොලිස් භාරයට ගත් බව සඳහන් විය. එසේම ඊට භාවිතා කරන පතරොම් 127ක් ද ඒ අතර විය.

මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වන වීඩියෝපට රූපවාහිනී නාළිකා මගින් මෙන්ම සමාජ මාධ්‍ය තුළ ද ප්‍රචාරය වූ අතර රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හාස්‍යජනක හැසිරීම් විසින් ඊට වැඩි සමාජ අවධානයක් යොමු විය.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන එනු ලැබීය. පළමු දිනයේ සිදුවීම් පෙළ එතැනින් අවසන් විය.

මාධ්‍ය වාර්තා කළ ආකාරය

මෙම අත්අඩංගුවට ගැනීමට සිදු කරන ලද්දේ පසුගිය 04 වැනි සෙනසුරාදා රාත්‍රී 7.30ට පමණය. එදින රාත්‍රියේ විකාශය වූ ප්‍රවෘත්ති ප්‍රකාශයන්වලදී ප්‍රමුඛ රූපවාහිනී නාළිකා දෙකක් විසින් මෙම සිදුවීම වාර්තා කිරීමේදී රන්ජන් රාමනායකගේ නිවසේ තිබී නීති විරෝධී ගිනි අවියක්, පතරොම් සහ අසැබි දසුන් සහිත සීඩී තැටි සොයා ගත් බව වාර්තා කරනු ලැබීය. මිලිමීටර් 09 පිස්තෝලයක් සහ ඊට අදාළ ජීව උණ්ඩ 127ක්, හිස් පතරොම් කොපු, අසභ්‍ය වීඩියෝ සහිත සීඩී තැටි 200කට අධික  ප්‍රමාණයක්, ලිංගික උපකරණ සහ සැක කටයුතු ලේඛන කිහිපයක් සොයා ගත් බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන් විය. එම නාළිකා මගින් නිශ්චිතව සඳහන් කරන ලද්දේ රන්ජන් රාමනායකට ඇති චෝදනා වන්නේ නීති විරෝධී ගිනි අවියක් ළඟ තබා ගැනීම සහ අසභ්‍ය දර්ශන ඇතුළත් සීඩීපට සන්තකයේ තබා ගැනීම බවයි.

මේ අතර එදිනම රාත්‍රී 8.00 පොලිස් මූලස්ථානය විසින් මේ සම්බන්ධව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු ලැබිණි. එහි සඳහන් වන්නේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත රන්ජන් රාමනායකගේ නිල නිවස සෝදිසි කළ බවත්, එහිදී මිලි මීටර් 09 උණ්ඩ 127ක්, බලපත්‍ර නොමැති ගිනි අවියක් සහ සැකකටයුතු ලේඛන කිහිපයක් සොයා ගත් බවයි. සීඩී තැටි පිළිබඳ කිසිදු සඳහනක් එහි නොමැත. 

චෝදනා සහ ඇප ලැබීම

අත්අඩංගුවට ගනු ලැබූ මන්ත්‍රීවරයා පසුදින, එනම් ජනවාරි 05 වන දින පස්වරුවේ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත නිදහස් කරනු ලැබීය. විදෙස් ගමන් ද තහනම් කෙරිණි. පුපුරණ ද්‍රව්‍ය ආඥා පනතේ 02වැනි වගන්තිය සමග කියවිය යුතු 27 වන වගන්තිය යටතේද, ගිනි අවි ආඥා පනතේ 22/03 වගන්තිය යටතේ ද, දණ්ඩනීති සංග්‍රහයේ 102, 113, 120 සහ 215 යන වගන්ති යටතේ චෝදනා ගොනු කර තිබිණි. 

මහින්දානන්දගේ ප්‍රකාශය

මන්ත්‍රීවරයා පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම අතරතුර කාලය තුළ මහින්දානන්ද අලුත්ගමගේ රාජ්‍ය අමාත්‍යවරයා රන්ජන් රාමනායක ජංගම දුරකථනය මගින් පටිගත කරගෙන ඇති දේ පිළිබඳවත් ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුවත් පිළිබඳ ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් සිදු කළේය. එහිදී ඇමතිවරයා සඳහන් කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට, ශානි අබේසේකරට කතා කළ හඬපට එහි තිබෙන බවය. එසේම එම හඬපටවල අඩංගු දේ පිළිබඳව ද ඔහු එහිදී පැවසීය. එම හඬපට අත්අඩංගුවට ගැනීම සඳහා රන්ජන් රාමනායකගේ නිවස පරීක්ෂා කළ බවත්, පොලිසිය සියල්ල පටලවාගෙන, කරන්න ගිය වැඬේ වෙනුවට පිස්තෝලයක් අල්ලාගෙන ඇති බවත් කීවේය.

මේ අතර රන්ජන් රාමනායකට ඇප ලැබුණු දින පස්වරු 4.00ට පොලිස් මූලස්ථානය විසින් මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ අත්අඩංගුවට ගත් දේ පිළිබඳව විමර්ශන සිදු කරන බවයි. එහෙත් එම නිවේදනයටත් පෙර මහින්දානන්ද ඇමතිවරයා පමණක් නොව මැඩිල්ලේ පඤ්ඤාලෝක නම් භික්ෂුවක් ද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා සමග කළ හඬපට ගැන සඳහන් කරයි. එපමණක් නොව, මාධ්‍ය සාකච්ඡාවේදී එම හඬපට ඉහත කී භික්ෂුව අතට පත් වී ඇති බව තහවුරු වන්නේ මාධ්‍ය ඉදිරිපිට ඉන් එකක් ප්‍රතිවාදනය කිරීමත් සමගය.     

හඬපට සහ ප්‍රබන්ධ

මෙතැන් සිට දිගහැරෙන්නේ රන්ජන් රාමනායකගේ හඬපට එකින් එක කරළියට පැමිණීමේ ජවනිකාවයි. අත්අඩංගුවට ගත් දින සිට ගත වූ සෑම දිනකම මාධ්‍ය සාකච්ඡාවලදීත්, සිදු කෙරෙන පැමිණිලිවලදීත් මාධ්‍ය සාකච්ඡාවලට ප්‍රකට භික්ෂුන් තුන් දෙනෙක් මෙවැනි හඬපට මාධ්‍ය වෙත නිරාවරණය කරනු ලැබීය. විවිධ සංවිධානයන්ගේ නම් වලින් පෙනී සිටින තවත් කිහිප දෙනෙක් මේ හඬපට සාක්ෂි වශයෙන් යොදා ගනිමින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කරන අයුරු ද මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබීය. කෙසේ වෙතත් දැන් රන්ජන් රාමනායකගේ යයි සැක කෙරෙන හඬපට දහයකට වැඩි ප්‍රමාණයක් සමාජ මාධ්‍ය තුළ ද සංසරණය වෙමින් පවතියි. ශානි අබේසේකර, මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය, විනිසුරු පද්මිණී රණවක, මහේස්ත්‍රාත් ධම්මික හේමපාල සමග පමණක් නොව විමල් වීරවංශ ඇමතිවරයාගේ බිරිඳ වන ශශී වීරවංශ සහ පියුමි හංසමාලි සමග කළ සංවාද යැයි කියවෙන හඬපට ද මේ අතරට ඇතුළත්ය. 

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා කියන්නේ රන්ජන් රාමනායකගේ හඬපට 121,000ක් ඇති බවය. දැනට අනාවරණය වී ඇති බොහෝ හඬපට විනාඩි 10කට වඩා වැඩිය. ඇතැම් ඒවා විනාඩි 26ක් පමණ වේ. එය නොසලකා මේ කියන හඬපට හැම එකක්ම විනාඩි පහක් පමණ වේ යැයි සිතුවහොත් හඬපටවල මුළු කාලය විනාඩි 605,000කි. එය පැයවලින් 10083කි. දවස්වලින් 420කි. එය වසරකටත් වඩා වැඩි කාලයකි. වඩාත්පැහැදිලිව කියනවානම් පසුගිය වසර පහක කාලය තුළ වසරකුත් දින 55ක් පැය විසි හතර පුරාම රන්ජන් රාමනායක සිට ඇත්තේ දුරකථන ඇමතුම්වලය. එය විය නොහැක්කකි.

එසේම මේ සිදුවීම් පෙළ අතර තවත් සැක සහිත ප්‍රකාශයක් වෙයි. ඒ ත්‍රී රෝද රථයේ තිබී හමු වූයේ යයි කියන දෘඩ තැටියයි. ඊට අනුව තලංගම ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක බැරිවීමකින් දමා ගිය දෘඩ තැටියක් රියැදුරු විසින් පොලිස් අපරාධ කොට්ඨාසයට බාර දී තිබේ. එවැන්නක් සිදු කිරීමටනම් අදාළ ත්‍රිරෝද රථ රියදුරා එම දෘඩ තැටිය පරීක්ෂා කර බලා තිබිය යුතුය. එය අපරාධ කොට්ඨාසයට බාරදීමට තරම් බරපතළ එකක් බව ඔහුට තහවුරු වී තිබිය යුතුය. එහි ඇති වන පළමු ගැටලුවනම් ඔහු එය තලංගම පොලිසියට බාර නොදී පොලිස් අපරාධ කොට්ඨාසයටම භාර දීමට කටයුතු කර ඇත්තේ ඇයිද යන්නයි. එම දෘඩ තැටියේ තිබූ කරුණු මත රන්ජන් රාමනායකගේ නිවස පරීක්ෂා කළේනම් පළමු පොලිස් මාධ්‍ය නිවේදනයේ එවැන්නක් සඳහන් නොවීම මෙහි ඇති දෙවැනි ගැටලුවයි.

හඬපට සහ නීතිය

කෙසේ වෙතත් වාර්තා කෙරෙන තොරතුරු අනුව විමර්ශනයට පාදක වූ හඬපට සහිත දෘඩ තැටිය ත්‍රිරෝද රථ රියදුරා විසින් පොලිස් අපරාධ කොට්ඨාසයට භාර දී තිබේ. ඒ මත පාදක වී අත් අඩංගුවට ගත් අනෙකුත් සියල්ල විමර්ශන සඳහා පොලිස් අපරාධ කොට්ඨාසය භාරයට ගෙන තිබේ. මාධ්‍ය සාකච්ඡාකරුවන් සහ හඬපට එළියට එන්නේ රන්ජන් අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව ක්ෂණයෙනි. ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා සමග කළේ යයි කියන හඬපට ද තිබී ඇති බව කියවෙන්නේ එම දෘඩ තැටියෙහිය. පොලිස් අපරාධ කොට්ඨාසයට භාර දුන් දෘඩ තැටියේ තිබුණු හඬපට ඉහත කී භික්ෂුන් සහ තවත් පුද්ගලයන් අතට පත්වූයේ කෙසේද යන්න මෙහිදී ඇති වන බරපතළ ගැටලුවකි. ඔවුන් අතට පමණක් නොව දැන් ඒවා සමාජ මාධ්‍ය වෙත ද පත් වී තිබේ.

මේවා නඩු භාණ්ඩය. නඩු භාණ්ඩ ජනගත කරන ප්‍රතිපාදනයක් නීතියේ තිබෙන බවක් අප අසා නැත. ලාකඩ මත තම ඇඟිලි සළකුණ යොදා පොලිසියේදී සීල් කරන ලද දුරකථන සංවාද ඇතුළත් හඬපට මෙසේ විවිධ පුද්ගලයන් අතට පත් වූයේ කෙසේද? වාර්තා වන ආකාරයට මේ සියල්ලම පොලිස් අපරාධ කොට්ඨාසය වෙත භාර දී සහ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ නම් පොලිසිය ද නඩු භාණ්ඩ තවත් පුද්ගලයන් අතට පත් වීමට වගකිව යුතුය.  

පොලිස් කොමිසම

මෙසේ හඬපට බාහිර පුද්ගලයන් අතට පත් වීම සම්බන්ධයෙන් පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ වන විටත් සිදුවීමට අදාළ නඩුවක් අධිකරණයේ විභාග වන බැවින් ඒ ගැන සොයා බැලීම අධිකරණයේ කටයුත්තක් බවය. එහිදී පොලිස් දෙපාර්තමේන්තුවේ කිසිවෙකු විසින් හෝ එසේ හඬපට බාහිර පුද්ගලයන්ට ලබා දී ඇතැයි වාර්තා කළහොත් ඒ පිළිබඳ සොයා බැලීම පමණක් පොලිස් කොමිසම විසින් සිදු කරන බවත්, මේ වන තෙක් එවැන්නක් සිදු වී ඇති බව වාර්තා වී නොමැති බවත් පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර පසුගිය 08 වැනිදා රන්ජන් රාමනායක විසින් ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ගොනු කළ මෝසමක් මගින් ඉල්ලා සිටියේ තමන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් තැටිවල තිබූ හඬපට මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් තමන්ට අගතියක් සිදු වී ඇති බවය. එහෙත් එම සංයුක්ත තැටි මේ වනතෙක් නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව පවසමින් මහේස්ත්‍රාත්වරයා මෝසම ප්‍රතික්ෂේප කරනු ලැබීය. රන්ජන් රාමනායකගේ නීතිඥවරිය පවසා සිටියේ හඬපට මාධ්‍යයට සහ වෙනත් පුද්ගලයන්ට ලැබී ඇත්තේ පොලිසිය විසින් ඒවා අත් අඩංගුවට ගැනීමෙන් පසුව බවය.

ශානිගේ වැඩ තහනම

කෙසේ වෙතත් මෙම හඬපට අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ යයි කියන හඬපටය පදනම් කරගෙන පසුගිය 07 වැනිදා වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ වැඩ තහනම් කිරීමට පොලිස් කොමිසම කටයුතු කරනු ලැබීය. පොලිසිය අපකීර්තියට පත්වන ආකාරයේ දුරකථන සංවාදවල නිරත වීම ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාව විය. එසේ ක්ෂණිකව ක්‍රියාත්මක වන පොලිස් කොමිසම, නඩු භාණ්ඩ සමාජ මාධ්‍ය සහ වෙනත් පුද්ගලයන් අතට පත්වීම සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරයේ උදාසීනත්වය පිළිබඳ ඇතිවන්නේ සැකයකි.   

දුමින්ද සිල්වා කරළියට

පසුගිය දෙදින පුරාම දෛනිකව මාධ්‍ය සාකච්ඡා පවත්වන භික්ෂුන් වහන්සේලා කිහිප දෙනාගේ අදහස් දැක්වීම්වලට මාතෘකාව වී තිබුණේ රන්ජන් රාමනායකය. ඔහුගේ හඬපටයන්ය. ඒ හඬපට අතර දුමින්ද සිල්වාගේ නඩුව සම්බන්ධයෙන් පද්මිණී රණවක විනිසුරුවරිය සමග කෙරෙන්නේ යයි කියන කතාබහක් පෙන්වමින් ඔවුන් කියන්නේ දුමින්ද සිල්වා පෙබරවාරි 04 වැනිදාට නිදහස් කළ යුතු බවය. ඒ අනුව මේ වන විට දුමින්ද සිල්වාට නිදහස ලබා දීම හඬපට ජවනිකාවේ කූඨ ප්‍රාප්තිය බවට පත් වී තිබේ.

භාරත ලක්ෂ්මන් ඝාතන නඩු විභාගයේදී ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරුවරුන් දෙදෙනෙකු දුමින්ද සිල්වා ඇතුළු අපරාධකරුවන්ට මරණීය දණ්ඩනය නියම කරන අතර සභාපති විනිසුරුවරයා ඔවුන් නිදොස් කොට නිදහස් කරනු ලබයි. එසේම මෙම නඩු තීන්දුව අභියාචනාධිකරණයේදී හා ශ්‍රේෂ්ඨාධිකරණයේදී ද අනුමත වීමයි. ඒ අනුව පැහැදිලි වන්නේ නඩු තීන්දුව විධිමත් අන්දමට දී ඇති බව නොවේ නම්, අධිකරණයේ හැම තලයක් සම්බන්ධයෙන්ම විශ්වාසයක් තැබිය නොහැකි අවිධිමත් තත්ත්වයක් බව ඉන් ගම්‍ය වේ. එය එසේනම් දුමින්ද සිල්වා පමණක් නොව, අධිකරණ තීන්දු විසින් මේ වන විට දඬුවම් ලබා දී ඇති සියල්ලන් පිළිබඳවම නැවත සලකා බැලීම කළ යුතුය.

එහෙත් අනාවරණය වී ඇති දුරකථන සංවාද වලින් අධිකරණය සම්බන්ධයෙන් එවැනි තීරණයක් ගැනීමට නොහැකිය. ඒ සංවාදයේ යෙදෙන්නේ නිශ්චිතවම පද්මිණී රණවක විනිසුරුවරිය යැයි සිතුවද එම සංවාදයේදී විනිසුරුවරිය හෝ රන්ජන් රාමනායක හෝ කිසිදු නීතියක් උල්ලංඝනය කරන බවක් පෙනෙන්නට නැත. ඇය සංවාදයක යෙදෙන්නේ මහජන නියෝජිතයකු සමගය. ඇය අපේක්ෂා කරන්නේ පුරප්පාඩු වී ඇති අභියාචනාධිකරණ විනිසුරු ධුරයක් සඳහා ඇගේ නම එවකට අගමැති රනිල් වික්‍රමසිංහට යෝජනා කිරීමය. එතැන ඇත්තේ සදාචාරය සම්බන්ධ ප්‍රශ්නයකි.

එසේම රන්ජන් රාමනායක ශානි අබේසේකර සමග පවත්වන ලදැයි කියන දුරකථන සංවාදයේදී පවා ඔහු ඇයට කී බව කියන්නේ භාරත ලක්ෂ්මන් ඝාතන නඩු තීන්දුව දෙස රටම බලාගෙන සිටින බව පමණි. දුමින්ද සිල්වා හිරේ යැවීම සඳහා වූ රන්ජන්ගේ පෞද්ගලික අභිලාෂය මත පදනම්ව ඔහු කතා කරන දේ ඔහුගේ පෞද්ගලික අදහස් පමණි. 

සර්ව බලධාරී රන්ජන්

දැනට එළියට පැමිණ ඇති හඬපටවල කතා කෙරෙන දේවල් අනුව සියල්ල සිදු කර ඇත්නම් මේ රටේ සියලු තීන්දු තීරණ ගැනීමට මැදිහත් වී ඇත්තේ රන්ජන් රාමනායකය. දුමින්ද සිල්වාට මරණ දඬවම දී ඇත්තේ රන්ජන් කියූ නිසාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර වැඩ කර ඇත්තේ රන්ජන් කියන විදිහටය. අධිකරණයේ විනිසුරුවරුන් වැඩකර ඇත්තේ ද රන්ජන්ට අනුවය. කොටින්ම කියනවානම් පියුමි හංසමාලිගේ සිට විමල් වීරවංශගේ බිරිඳ දක්වා මේ රටේ බොහෝ දෙනෙක් වැඩ කර ඇත්තේ රන්ජන්ගේ උපදෙස් අනුවය. ඒ අනුව රන්ජන් රාමනායක ලංකාවේ සර්ව බලධාරී පුද්ගලයාය.

එහෙත් මේ දක්වා හෙළිදරව් වී ඇති හඬපටවල නිරවද්‍යතාවය සම්බන්ධයෙන් කිසිදු තහවුරුවක් හෝ ඒ සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හෝ පොලිස් අපරාධ කොට්ඨාසයෙන් නිකුත් කර නැත. එවැනි තත්ත්වයක් තුළ වුවද මේ හඬපට සියල්ල ඇත්තනම් කල්පනා කළ යුතුව ඇත්තේ දේශපාලන වේදිකාවේත්, ඉන් පිටතත් ‘නළුවෙකු’ පමණක්ම වූ රන්ජන්ගෙන් උපදෙස් ගත් පුද්ගලයන්ගේ පරිකල්පනයේ සහ විචාර බුද්ධියේ දිග පළල පිළිබඳවය. අනෙක් පැත්තෙන් දේශපාලකයන් ඉදිරියේ මෙසේ ඩීල් ගැසීමට විනිසුරුවරුන් පවා පෙළඹෙන්නේ රටේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම දූෂිත වී ඇති නිසා බවය. ඒ අතරම හඬපට පෙන්වමින් දුමින්ද සිල්වා නිදහස් කළ යුතු බව පුන පුනා කියන ඊනියා භික්ෂුන් පිළිබඳවත්, නඩු භාණ්ඩ ඔවුන් අතට පත් වීම පසුපස ඇති කතාව පිළිබඳවත් අවධානය වෙනස් කළ යුතු නැත.

  චතුර දිසානායක

Leave a Response