අදහස්

ඕස්ට්‍රේලියා ලැව්ගින්න ධනවාදයේ අමානුෂික මුහුණුවරක්

555views

පරිසරවේදී සජීව චාමිකර

ඕස්ට්‍රේලියාව කියන්නේ දියුණු රටක්. ඒ දියුණු රටට බැරි වුණා මේ වගේ තත්ත්වයන්ට මුහුණ දීමට අවශ්‍ය කරන යාන්ත්‍රණයන් ගොඩනංවලා ක්‍රියාත්මක වෙන්න. ඒ නිසා ඔවුන්ට සිද්ධ වුණා කොතරම් ධනවත් රටක් වුණත්, ලංකාව වගේ භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම අළු දුහුවිලි බවට පත් වීමෙන් වළක්වා ගන්න. අනෙක් ධනවාදී කඳවුරේ රටවල්වලටත් බැරි වෙලා තියෙනවා මේ වගේ ගැටලු හරි විදියට විසඳාගෙන පරිසරය රැක ගන්න. මම පෙර සඳහන් කළා වගේ ලෝකේ රටවල් මැදිහත් වෙලා නිර්මාණය කර ගත් සෙන්ඩායි යාන්ත්‍රණයට ඕස්ට්‍රේලියාව නිසි ලෙස මැදිහත් නොවීම නිසා මේ වගේ ව්‍යසනයකට මුහුණ දුන්නා.

■  ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි කියන්නේ සාමාන්‍ය දෙයක් නමුත් දැන් හටගෙන තිබෙන ලැව් ගින්න අසාමාන්‍ය වගේම විනාශකාරී එකක්. මෙය විග්‍රහ කරන්නේ කෙසේ ද?

ඇත්තටම මේකෙ මුල අර ගත්තොත් මේවා කාලගුණික, දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මොක ද? අපි දන්නවා ඕස්ට්‍රේලියාව ගත්තත් පාරිසරික උෂ්ණත්වය ඉතාම දරුණු විදිහට වාර්තා වුණා පසුගිය අවුරුද්දේ. ඒකත් එක්කම ඇති වෙලා තියෙන තත්ත්වයක් තමයි, නියං කාලය ඉතාම දීර්ඝ වුණා. ජලය වාෂ්පීකරණය ඒ තත්ත්වය තුළ වර්ධනය වුණා. ලැව්ගිනි ඇතිවෙන්න අවශ්‍ය කරන පසුබිම ඉතාම හොඳින් ගොඩනැඟුණා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි, මේ වගේ දැවැන්ත විනාශයක් ඇති වුණේ. මේක පොළොවේ, භූමියේ සිද්ධ වෙච්ච යථාර්ථය වුණාට මේක පිටිපස්සේ තියෙන ඇත්ත කතාවත් අපි විග්‍රහ කර ගන්න ඕන.

ඕස්ට්‍රේලියාව කියන්නේ, ලෝකයට ගල් අඟුරු සපයන රටවල්වලින් ප්‍රධාන එකක්. එයාලගෙ ප්‍රධාන නිෂ්පාදන ආදායම් මාර්ගයක් වුණේ, ගල් අඟුරු අපනයනය කිරීම. ඒගොල්ලො උත්සාහ කරනවා ලෝකයේ රටවල්වල ගල් අඟුරු බලාගාර ඉදි කරන්න ඕනෑ කරන පසුබිම ගොඩනංවනවා. අනෙක් පැත්තෙන් ගල් අඟුරු විකිණීම සිද්ධ කරනවා. අද වන විට බලශක්ති නිෂ්පාදනය සඳහා නිර්මාණය කර ඇති ගල් අඟුරු බලාගාර මේ කාලගුණික, දේශගුණික බලපෑම් ඇති කරන්න බලපාන හේතු සාධකවලින් ප්‍රධානම එකක්. ඒවායින් බාහිර වායුගෝලයට නිදහස් වන කාබන්ඩයොක්සයිඞ් ප්‍රමාණය ඉහළයි, ඊට අමතරව දූවිලි අංශු සල්පර් ඩයොක්සයිඞ් ආදිය ප්‍රධාන වශයෙන් වායුගෝලයට එකතු වෙනවා. මේවා කාලගුණික, දේශගුණික බලපෑම් ඇති කරන්න බලපාන යාන්ත්‍රණය ඇති වෙනවා. හේතුව තමයි පරිසර උෂ්ණත්වය වැඩි කරන්න ඕනෑ කරන හරිතාගාර වායූන් විදිහට ක්‍රියාත්මක වෙන වායූන් ගණනාවක් ගල් අඟුරු දහනය හින්දා ඇති වෙනවා. ඒවායේ ප්‍රතිඵල විදිහට අද ඒ රටවල්වලට පවා මේ වගේ ව්‍යසනයන්ට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. ඔවුන් විසින් ඇති කරන ලද තත්ත්වයන් විසින් අද ඔවුන්ම බරපතළ විනාශයන්ට ගොදුරු වෙලා තියෙනවා. මේ නිසා දැන්වත් ලෝකයට පිළිගන්න වෙනවා කාලගුණික, දේශගුණික මාතෘකාව කියන එක සරල මාතෘකාවක් නොවන බව.

කාලගුණික, දේශගුණික බලපෑම් එල්ල කෙරෙන සාධක පිළිබඳව මීට වැඩිය ගැඹුරින් කල්පනා කළ යුතු වෙනවා. ධනවාදී ආර්ථික ක්‍රමයත් එක්ක අවසානයේ සිද්ධ වෙන්නේ මේ වගේ ගැටුම් ගණනාවකට මුහුණ දෙන, මුළු සමාජයම පීඩනයට ලක් කෙරෙන ක්‍රමයක් නිර්මාණය වීම. මෙය සමනය කර ගැනීම සඳහා පිවිසෙන්නට තිබුණු කාලය දැන් ඉක්ම ගොස් තිබෙනවා. නමුත්, පමා වී හෝ ඒ සඳහා ආරම්භයක් ගත යුතු මොහොතකයි දැන් අපි ඉන්නේ.

■  ඕස්ට්‍රේලියා කියන්නේ ලෝකයේ දියුණු රටක් බව ඔබ ප්‍රකාශ කළා. එහෙම දියුණු රටකටත් මේ වගේ ව්‍යසනයක් වළක්වා ගන්න බැරි වුණේ ඇයි ?

ලෝකයේ බොහෝ රටවල් කාලගුණික, දේශගුණික විපර්යාසවලින් ඇති වන බලපෑම්වලට මුහුණ දෙන්න ඕනෑ කරන පූර්ව ආරක්ෂණ උපායමාර්ග ගනිමින් ඉන්නවා. අපි දන්නවා, ‘සෙන්ඩායි ප්‍රේම්වර්ක්’ (Sendai Frmework) කියල තියෙනවා, කාලගුණික, දේශගුණික විපර්යාසත් එක්ක ඇති වෙන ආපදා තත්ත්වයන්ට කොහොම ද රටවල් මුහුණ දිය යුත්තේ කියන එක. මුහුණ දීමේ යාන්ත්‍රණය කොයි විදිහට ද ක්‍රියාත්මක කළ යුත්තේ කියන එක සෙන්ඩායි යාන්ත්‍රණය තුළ පැහැදිලිවම සඳහන් වෙනවා. ජපානයේ සෙන්ඩායි නුවරට එකතු වෙච්ච ලෝක නායකයන් ඇති කර ගත්ත ගිවිසුමක් තමයි, මේ අපි දැක්ක බංගලාදේශය කාලගුණික, දේශගුණික බලපෑම්වලින් ගැලවීම සඳහා අවශ්‍ය කරන භාරයක් පවා පිහිටෙව්වා. රාජ්‍ය අරමුදල්වලින් ඒ භාරය ශක්තිමත් කළා. ආපදාවලට මුහුණ දෙන්නේ කොහොම ද? ඒකට මුහුණ දෙන පෙර සූදානම මොකක් ද කියන එක සහ එයට මුහුණ දෙන විදිහ පිළිබඳව දීර්ඝ ලෙස ඒ රටවල් සාකච්ඡා කොට තිබුණා. ඕස්ට්‍රේලියාව සෙන්ඩායි යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම මඟහැරලයි කටයුතු කළේ. එයාල පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග අරගෙන තිබුණේ නැහැ. ඒ සඳහා වෙන් කරන මුදල් ප්‍රතිපාදන පවා අඩු කොට තිබුණා. රාජ්‍ය අයවැයෙන් නිවැරදි ලෙස මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබුණේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි, ඕස්ටේ්‍රලියාවට මේ තත්ත්වයට මුහුණ දෙන්න වුණේ. බංගලාදේශය වගේ ආර්ථික ශක්තියෙන් අඩු රටවල් පවා හොඳ පදනමක් ගොඩනංවලා තිබුණා මේ කාලගුණික, දේශගුණික බලපෑම් එක්ක ඇති වන ආපදා තත්ත්වයන්ට මුහුණ දෙන්න. නමුත්, ආර්ථික අතින් ඉහළයි කියන ඕස්ටේ්‍රලියාව එය මඟහැරියා. එහි ප්‍රතිඵල තමයි, අද භුක්ති විඳින්නේ.

ආර්ථික සංවර්ධනය ඇති කර ගත්තයි කියන ධනවාදී කඳවුරේ රටවල් පරිසරය ආරක්ෂා කර ගැනීම පිළිබඳවවත්, පාරිසරික, දේශගුණික විපර්යාස කියන දේවල් පිළිබඳවවත් කිසිම තැකීමක් කරන්නේ නැති තත්ත්වයක් තමයි පේන්න තියෙන්නේ.

■  ඕස්ට්‍රේලියාවේ මේ වන විට සිදුව ඇති හානිය කොතරම් ද වාගේම ශාක, සත්ව හානිය මොන වගේ කියල ද හිතන්නේ ?

ඇත්තටම ඒ සම්බන්ධයෙන් අපට තියෙන්නේ, ලෝක පරිමාණයෙන් ඉදිරිපත්ව ඇති ප්‍රවෘත්තිවලින් කියැවෙන දේවල් තමයි. අපි දන්නා හැටියට සත්ව විශේෂ මිලියන හාරසියයක් විතර විනාශ වෙලා තියෙනවා කියල වාර්තා වෙනවා. නිශ්චිතවම කියන්න බැහැ මේකට සියලුම සත්ව විශේෂ ඇතුළත් ද කියලා. විශාල ජීවිත හානියක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම කැන්ගරු වගේ සත්ව විශේෂ විතරක් නෙමෙයි. මහාද්වීප වෙන් වෙලා යද්දි මුලින්ම වෙන් වෙලා ගිය මහාද්වීපයක් තමයි, ඕස්ට්‍රේලියා මහාද්වීපය. වෙනමම ජීවී කාණ්ඩ ඕස්ට්‍රේලියා මහාද්වීපයේ පරිණාමය වී තිබෙනවා. ඒ වගේ විශේෂ අතිබහුතරයක් ඉන්නවා. ඒ සමස්ත සත්ව ප්‍රජාවම මේ හරහා විනාශ වී ගොස් තිබෙනවා. මේ විනාශ වෙලා ගිය සත්ව විශේෂ ඉන්නේ ඕස්ට්‍රේලියා මහද්වීපයේ පමණයි. ඒකයි, මෙහි තිබෙන බරපතළම ඛේදවාචකය. උභයජීවී විශේෂ, උරග විශේෂ අවුරුදු මිලියන ගණනාවක් තිස්සේ හුදෙකලාව පරිණාමය වූ ජීවී විශේෂ අතිබහුතරයකගේ විනාශ වීම දක්නට ලැබෙනවා. ඔවුන් විනාශ වෙනවා කියන්නේ, මුළු ලෝකයෙන්ම ඔවුන් වඳ වී යනවා කියන එකයි. ඒක බරපතළ තත්ත්වයක්.

■  මේ වෙච්ච දැවැන්ත විනාශය නිසා ආසියාතික රටවල්වලට වගේම ලෝකයේ සියලුම රටවල්වලට මොන වාගේ බලපෑමක් එල්ල විය හැකිද?

මේ ගිනි ගැනීම ඇතිවෙලා දවස් කිහිපයක් යන විට අපි දැක්කා, ඕස්ටේ්‍රලියාවේ වගේම නවසීලන්තයේ දුම පිරිලා, අළු ගිහිල්ලා තැන්පත් වෙලා හිම සහිත ප්‍රදේශවල ඝන තට්ටු ලෙසින් තැන්පත්ව තිබුණු බව. මේකෙ බලපෑම ලෝකයටම දැනෙන්න පුළුවන්. දැන් ගිනිගෙන තිබෙන ප්‍රදේශය ලංකාවේ සමස්ත භූමි ප්‍රදේශයට සමානයි. මේකෙන් ඇතිවෙන දූවිලි වලාවන්, කාබන්ඩයොක්සයිඞ් අධික ප්‍රමාණයක් පිටවීම. එම වනාන්තර විසින් විශාල කාබන්ඩයොක්සයිඞ් ප්‍රමාණයක් උරා ගන්නවා. අද ඇති වෙලා තියෙන තත්ත්වය තමයි, කාබන් ඩයොක්සයිඞ් උරා ගන්න යාන්ත්‍රණය සහ ඔක්සිජන් පිට කරන යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන ඒ වනාන්තර පද්ධතිය සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගිහිල්ලා තියෙනවා. ඒ වනාන්තර පරිසර පද්ධතිය දහනය වීමේ ප්‍රතිඵලයක් විදිහට විශාල කාබන්ඩයොක්සයිඞ් වායු ප්‍රමාණයක් වායුගෝලයට එක් වී තිබෙනවා. මේ නිසා වායුගොලයේ තිබෙන තුලිත බව නැති වෙන්න පුළුවන්. ඒක අනාගතයේ දී ඉතාම නරක විදියට සමස්ත ලෝකයටම බලපෑම් ඇති කරන්න තියෙන ඉඩ වැඩියි.

■  මීට මාස කිහිපයකට පෙර ඇමේසන් වනාන්තරය ගිනි ගත්තා. අද ඕස්ට්‍රේලියාවේ වනාන්තර ගිනි ගන්නවා. හෙට තවත් තැනක මේ වගේ දේවල් සිදුවේවි. ඇයි මෙහෙම වෙන්නේ ?

මේ එක එක තැන්වල තියෙන සන්දර්භයන් වෙනස්. ඇමේසන් වනාන්තරය ගිනි ගැනීම සිද්ධ වෙන්නේ හුදෙකලා දෙයක් ලෙස නෙමෙයි. බහුජාතික සමාගම් මැදිහත් වෙලා තිබුණා. විශේෂයෙන්ම සෝයා වගා කරන සමාගම් විසින් ජනතාව අදාළ නිජබිම්වලින් ඉවත් කොට තිබුණා. ඔවුන් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග පවා ගනු ලැබුවා. සමාගම්වල පරිසර විනාශයට එරෙහිව ජනතාව දැවැන්ත ලෙස විරෝධය පළ කොට තිබුණා. සමාගම්වල අනවශ්‍ය බලහත්කාරී මැදිහත් වීම තමයි ඇමේසන් වනාන්තරය ගිනි ගැනීමට හේතු වුණේ.

ඕස්ට්‍රේලියාවේ තත්ත්වය සිද්ධ වුණේ මීට වෙනස් ආකාරයකින්. අපිට පේන දේ තමයි, ධනවාදී යාන්ත්‍රණය තුළ එහෙම නැත්නම් මේ නව ලිබරල් ආර්ථික සැලැසුම් ක්‍රියාත්මක වීමේ යාන්ත්‍රණය තුළ අපට පේනවා කොයි විදිහට ද මේ ව්‍යසන දරුණු තත්ත්වයට පත් වෙන්නේ කියලා. ඇතැම් සමාගම් භූමිය අත්පත් කර ගැනීම සඳහා වනාන්තර හිතාමතාම ගිනි තැබීම් කරනවා. තව පැත්තකින් ගල් අඟුරු වගේ වෙළෙඳාම් එක්ක ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක මේ වගේ දරුණු ඛේදවාචක ඇතිවෙලා තියෙනවා.

අපි මේ දකින්නේ ධනවාදයේ එක එක මුහුණුවරවල්. මේ ක්‍රියාවලිය මේ විදියට සිද්ධ වුණොත්, පරිසර ආරක්ෂණ ක්‍රියාවලියෙන් අපි එළියට ගියොත්, එසේ ගොස් ධනවාදී ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කර ගන්න ගියොත් තව දුරටත් මේ වාගේ තත්ත්වයන් වර්ධනය වෙන්න ඉඩ තිබෙනවා. මේ නව ලිබරල් ආර්ථික සැලසුම් ඔස්සේ ක්‍රියාත්මක වෙන්නේ පැහැදිලිවම මේ ස්වාභාවික සම්පත් අත්පත් කර ගැනීමේ යාන්ත්‍රණයක්. මේ බලපෑමෙන් ලෝකයේ සෑම රටක්ම නිදහස් විය යුතුයි. එසේ නොවුණහොත්, ලෝක පරිමාණ දැවැන්ත විනාශයකින් මෙය කෙළවර වීම වැළැක්විය නොහැකියි.

■  මේ ව්‍යසනයට සෑම ආකාරයකම ලෝක පරිමාණ මැදිහත්වීම ප්‍රමාණවත් කියල ඔබ සිතනවාද?

ඕස්ට්‍රේලියාව කියන්නේ දියුණු රටක්. ඒ දියුණු රටට බැරි වුණා මේ වගේ තත්ත්වයන්ට මුහුණ දීමට අවශ්‍ය කරන යාන්ත්‍රණයන් ගොඩනංවලා ක්‍රියාත්මක වෙන්න. ඒ නිසා ඔවුන්ට සිද්ධ වුණා කොතරම් ධනවත් රටක් වුණත්, ලංකාව වාගේ භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම අළු දුහුවිලි බවට පත් වීමෙන් වළක්වා ගන්න. අනෙක් ධනවාදී කඳවුරේ රටවල්වලටත් බැරි වෙලා තියෙනවා මේ වගේ ගැටලු හරි විදියට විසඳාගෙන පරිසරය රැක ගන්න. මම පෙර සඳහන් කළා වගේ ලෝකේ රටවල් මැදිහත් වෙලා නිර්මාණය කර ගත් සෙන්ඩායි යාන්ත්‍රණයට ඕස්ට්‍රේලියාව නිසි ලෙස මැදිහත් නොවීම නිසා මේ වගේ ව්‍යසනයකට මුහුණ දුන්නා. ලෝකයේ රටවල මැදිහත් නොවීමේ ප්‍රශ්නයක් නැහැ. ඕස්ට්‍රේලියාවේ නොසැලකිල්ල හා මඟහැර යාමයි මේ ව්‍යසනයට මුල. ඒ අවධානය යොමු නොකිරීම්ම මේ වගේ ව්‍යසනයන්ට බලපාලා තිබෙනවා. ඒ නිසා ඉදිරියේ දී මේ වගේ තත්ත්වයන් වළක්වා ගන්න ලෝක පරිමාණ මැදිහත් වීමක් අවශ්‍යයි කියලා අපි විශ්වාස කරනවා.

■ සංවාද සටහන – එස්.කේ ගමගේ

Leave a Response