සාහිත්‍ය - කලා

වැඩිපුර සිද්ධ වෙන්නෙ ජාතිවාදය, ආගම්වාදය සහ මිථ්‍යාව වපුරන දේ

77views

කසුන් සමරතුංග

”‍සිත පුරා දම් රෝස

රොබරෝසියා මල් පාට සිහින තියා

අතීතය උනත් නොකියාම

පෑල දොරින් විරිත්තා පැන ගියා

බිම වැටුනු සිනහවක

අගය තව කොහි වෙයිද කිය කියා

ගිලිහෙන්න ළඟ මලක්

දුක්බරම කඳුලින් නෙතු පියා”‍

මෙලෙස පරිසරය තුළත් මනුෂ්‍ය ජීවිත තුළත් ඉසියුම් තැන් ස්පර්ශ කරමින් තමන්ටම අනන්‍ය වූ හුරුවකින් කාව්‍යකරණයේ යෙදෙන කවියෙකු ලෙස කසුන් සමරතුංග කවියත්, රසාස්වාදයත් එකිනෙකා අතර බෙදාගෙන ‍රසව්ඳින මිනිසුන් අතර තවත් එක් සුන්දරතම මිනිසෙකි. ඉමක් කොණක් නොදැක එක සීරුවට හැල්මේ දුවන සමාජයක් දෙස උපේක්ෂා සහගතව බලා හිඳිමින් ප්‍රේමයෙහි, ජීවිතයෙහි ඉතා ගැඹුරුම තැන් පවා සියුම්ව කවියක තබා තවත් හදවතකට දැනවිය හැකි බව මේ මොහොතේද ප්‍රත්‍යක්ෂ කරමින් සිටින ඔහු සමඟයි මේ කතා බහ.

■  කසුන් සමරතුංග සහ කවිය මුණගැහෙන්නෙ කොහොමද?

සමහර මුණගැසීම් තියෙනවා, පස්සෙ අපිටම ඒවා අමතක වෙලා යනවා. තව සමහර ඒවා තියෙනවා මුණගැසීම් කියලා අපිට තේරෙන්නෙ ඒ වෙලාවෙ නෙවෙයි, ඊට ගොඩක් කාලෙකට පස්සෙ. ඒ අස්සෙ අපි මුණගැසීම් කියල හිතාගෙන හිටපු දේවල් එහෙම ඒවා නෙවෙයි කියල කාලයක් යද්දී තේරුම් යනවා. ඉතින් කතාව සරලයි. ඉස්කෝලෙ හයේ, හතේ පන්තිවල දී කවිය මුණගැහුණ ද කියල මට මතක නැහැ. පස්සෙ කාලෙක කවිය කියල මුණගැහුණෙ කවිය නෙවෙයි කියල ඊටත් සෑහෙන්න පස්සෙ කාලෙක දී තේරුම් ගත්තා. දැන් මං කවිය කියල හිතන් ඉන්න දේත් ඉස්සරහට කොහොම වෙයි ද දන්නෙ නැහැ. ඒක නිසා ඒ ගැන කල්පනා කරල වැඩක් නෑ. ඊට වඩා හොඳයි මේ පාර 20-20 වර්ල්ඞ් කප් එකේ අපිට සෙමි ෆයිනල්වත් යන්න පුළුවන් වෙයි ද කියල කල්පනා කරන එක.

■  කවිය මූලික කොට ගනිමින් අනෙකුත් සියලු‍ කලා මාධ්‍ය තුළින් සමාජයට ලැබිය යුත්තේ විනෝදාස්වාදයම පමණක්ද, ඔබේ අදහස?

අඩුම ගාණෙ ඒකවත් ලැබෙනවා නම් ලොකු දෙයක් නේ! වෙන මොකුත් නැතත්, අඩු තරමින් විනෝදෙන් ඉන්නවත් පුළුවන්. නමුත්, ඒ වෙනුවට ජාතිවාදය, ආගම්වාදය සහ මිථ්‍යාව වපුරන දේවල් නේ ද වැඩිපුර සිද්ධ වෙන්නෙ. එහෙම දේවල් දිහා ටිකක් ඈතට වෙලා බලාගෙන ඉන්න එකේ නම් පොඩි මතුපිට විනෝදයක් තියෙනවා. ඒ වුණාට අභ්‍යන්තරය ඛේදවාචකයක්.

■  මින් පෙර එළිදැක්වූ ‘නොසන්සුන් මොහොතක හීනයක්’ කාව්‍ය සංග්‍රහය සහ ‘විත අස පත’ තීරු ලිපි සංග්‍රහය තුළින් ඔබ ලබාගත් අත්දැකීම් කෙබඳුද?

‘නොසන්සුන් මොහොතක හීනයක්’ මට කියල දුන්නා ‘උඹ ආපහු කවදාවත් කර්තෘ ප්‍රකාශන කරන්න එපා’ කියන එක. අපි වගේ තඩි කම්මැලි මිනිස්සුන්ට ඒක හරියන්නෙ නෑ. ‘විත අස පත’ නම් මට එහෙමටම යමක් කිව්වෙ නැහැ. නමුත්, මේ පොත් දෙකම මට බොහොම අපූරු මිනිසුන් කීප දෙනෙක් මුණගැස්සුවා. අන්න ඒක නම් මරු අත්දැකීමක්.

■  කවිය නම් මෙයැයි කියල යමක් අපිට වෙන් කරල ගන්න පුළු‍වන්ද? එහෙම වෙන් කරගත යුතුද?

ඒක මම දන්නෙ නැහැ. ඒක නිසා ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා වෙනුවට මම ඔබට කතාවක් කියන්නම්. එතකොට ඔබ කැමැති දෙයක් හිතා  ගන්න. කපිල කුමාර කාලිංගගේ නවකතාවක් තියෙනවා ‘පියැසි කවුළුව’ කියලා. කතාවේ ප්‍රධාන චරිතය වින්ටර්. වින්ටර් ඉස්කෝලෙ යන කාලෙ දවසක් ඔහුට කවි වගයක් කට පාඩම් කරගෙන එන්න බැරි වුණා කියල ගුරුවරයා ඔහුව පන්තියෙන් එළියට දාල මිදුලෙ දණගස්සවනවා. එතැනට එන එක්තරා මහලු‍ මනුස්සයෙක් මේ සිද්ධිය අහල වින්ටර්ට හරි අපූරු කතාවක් කියනවා. ඒ කතාව මෙහෙමයි. “කවි මතක නැත් නම්, ඒක ඔය ළමයින්ගේ වරදක් නෙවෙයි. කවියො දැන ගන්න ඕනෙ මිනිස්සුන්ට මතක හිටින විදියට කවි ලියන්න.” මේ වචන ඒ විදියටම නොවුණත්, ඕක තමයි කතාවෙ අර්ථය. මේක ඔබේ ප්‍රශ්නෙට පිළිතුරක් නෙවෙයි. ඒත් නිකම් කියල දාන්න හිතුණා.

■  අංගුලිමාල සුළඟ’ එළිදැක්වීම ගැන කතා කළොත් ?

ඔව්! ‘අංගුලිමාල සුළඟ’ නිල වශයෙන් සහෘදගත කරනවා. ඒක පොඩියට යන සරල වැඩක්. කතා දෙකක්, සින්දුවක් සහ තව පොඩි පොඩි වැඩ කීපයක්. විමල් කැටිපෙආරච්චි සහ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කතා කරනවා. ළහිරු කිතලගම වැඬේ මෙහෙයවනවා. වැඬේ තියෙන්නෙ එන 13 වැනි සඳුදා හවස තුනට. තැන ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරය.

■  සංවාද සටහන

   වරුණ උදේෂ් ජයසිංහ

   ඡායාරූපය

   නිසල් රයිගමගේ

Leave a Response