විශේෂාංග

අපරාධකරුවන් රකින්න හිරගේ ඇතුළේ මරා දැමුණු ජීවිත !

393views

සෙල්ලපුල්ලෙයි මහේන්ද්‍රන් උදාහරණය

බන්ධනාගාරවල විසල් උස් තාප්පවලින් බාහිර ලෝකයෙන් වෙන් කරන ලද මිනිස් ජීවිත පිළිබඳව කතාව වෙනුවට බොහෝ තන්හි ඉස්මතු වන්නේ දශක තුනක වෛරයේ තත් සුසර කෙරෙන හඬමය. නිලලත් බලධාරීන් ලොවට පවසන දෙය මිස කූඩුකරන ලද මිනිසුන්ගේ සැබෑ කතා සමාජයට විවර නොවීමද මීට හේතුවකි. විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් දකුණේ සමාජයට වීරයකු වූ යුගයක් තිබිණි. අදටද ඔහු නිදහසේ සිටියි. එහෙත් එකී කරුණා අම්මාන් විසින් පුහුණු කරනු ලදුව, අණ දෙනු ලදුව ළමා සොල්දාදුවෙකු ලෙසින් එල්ටීටීඊයට සම්බන්ධ වී වයස 18න් සිර ගතව, වසර 27ක්; එනම් සිය ජීවිත කාලයෙන් නිදහසේ ගත කළ කාලයට වඩා වැඩි කාලයක් සිරගතව ගත කරන මිනිසෙක්, එළියක් නොදැකම මිය ගියේය. මේ ඔහුගේ කතාවයි. තවත් දේශපාලන සිරකරුවකුගේ කතාවයි.

සෙල්ලපුල්ලෙයි මහේන්ද්‍රන් මඩකලපුව, වන්දාරමුල්ලේ, බේකාස් පාරේ පදිංචිකරුවෙකි. රැකියාව ලෙස රා මැදීම කර ඇත. විවාහකව දරුවෙක්ද සිටින බව කියතත්, කිසිදු පවුල් සම්බන්ධකමක් ඔහු සතුව තිබී නැත. ඔහුව බැලීමට හෝ බන්ධනාගාරයට කිසිවෙකු පැමිණ ද නැත. කොළඹ, මැගසින් බන්ධගාරයේ දී අවුරුදු 45 න් ඔහු මිය ගියේය.

1993.09.27 දින වන්දාරමුල්ල ප්‍රදේශය යුද හමුදාව විසින් වටලා කළ සෝදිසි කිරීමකදී මහේන්ද්‍රන් අත්අඩංගුවට පත්ව ඇත. සැකපිට අත්අඩංගුවට ගත් ඔහුව කොම්මාන්තුරයි හමුදා කඳවුරටද එතැනින් මඩකලපු බන්ධනාගරයටද ගෙනගොස් රඳවා තබාගෙන ඇත. එවකට මඩකලපු බන්ධනාගාරයද තිබී ඇත්තේ හමුදා භාරයේය. ඔහු හමුදා භාරයේ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ සිය සුපුරුදු ක්‍රියාදාමයට අනුව ඔහුට පහරදී වධහිංසාවට ලක්කර ඔහුගෙන් ප්‍රකාශයන්ට අත්සන් ලබාගෙන තිබේ. එදා සිට වසර 27ක් සිංහල සිරකරුවන් සමඟ ගෙවන බන්ධනාගාර දිවියෙන් අනතුරුව මිය යන තුරුම ඔහුට සිංහල භාෂාව හරිහැටි භාවිතා කිරීමට හැකියාවක් තිබුණේ නැත. ඔහුගෙන් එදා අත්සන් ලබාගෙන තිබුණේ ඔහු කොහෙත්ම නොදත් සිංහල භාෂාවෙන් ලියැවුණු ප්‍රකාශ ලේඛනවලටය. එම පාපොච්චාරණ නම් වූ ලියවිලි මත පමණක් පදනම් වෙමින් කොළඹ මහාධිකරණයෙහි HC/6894/94 දරන නඩු අංකය යටතේ ආණ්ඩුව නීත්‍යානුකූල නොවන අන්දමකින් බිඳහෙළීමට තැත් කිරීම සහ හමුදා කඳවුරුවලටත් පොලිසිවලටත් පහර දුන් එල්ටීටීඊ මෙහෙයුම්වලට දායකවීම යන චෝදනා මත නඩු පවරනු ලදුව 1995.07.24 වැනි දින ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් සහ තවත් වසර 70ක සිර දඬුවමක් නියම වී ඇත.

සෙල්ලපුල්ලේ මහේන්ද්‍රන් එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ වී ඇත්තේ වයස අවුරුදු 16ක් පමණ වන විටය. ඔහු පවසන ආකාරයට සහ ඔහු අධිකරණයට දී ඇති කට උත්තරය අනුවත් එවකට එල්ටීටීඊ ඉහළම නායකයකු මෙන්ම පසුව හිටපු ඇමති, හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපති වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසින් මොහුව පුහුණු කරවා, ක්‍රියාමාර්ගවලට යොදවා ඇත. පුහුණුව ලැබීමෙන් පසුව ඔහුව එල්ටීටීඊ කඳවුරු රැකවල් කිරීම, කඳවුරුවලට ආහාර පාන සැපයීම වැනි රාජකාරිවල යොදවා ඇත. ඔහු එවකට වයස 16ත් 17ත් අතර ළමයෙකි. හමුදා කඳවුරකට පහරදීම යනු දැවැන්ත ක්‍රියාදාමයකි. මහේන්ද්‍රන් වැන්නන්ට එහි සුළු සුළු රාජකාරි පැවරෙන්නටද ඇත. එල්ටීටීඊය වැනි සංවිධානයක වයස 16 ළමයෙකුට නායකත්ව වගකීම් හෝ බරපතළ වගකීම් පැවරෙන්නට ඉඩක් නැත. ඔහුව කුඩා කුඩා රාජකාරිවලට යොදවා තිබුණේ කරුණා අම්මාන් විසිනි. එහෙත් ඔහු දඬුවම් ලබා සිටින්නේ හමුදා කඳවුරුවලට සහ පොලීසිවලට ප්‍රහාර එල්ල කිරීමට අදාළ චෝදනාවන්ටය.

මහේන්ද්‍රන් එල්ටීටීඊ සංවිධානයෙහි කටයුතු කර ඇත්තේද වසරක් හෝ වසර එකහමාරක් පමණ කෙටි කාලයකි. ළාබාල වයස හේතුවෙන්ම සංවිධානයෙහි ජීවිතය කලකිරුණු ඔහු සංවිධානයෙන් පැනගොස් ඇත. පලායාමෙන් අනතුරුව සිය නිවසෙහි සැඟවී සිටියදී එල්ටීටීඊ සාමාජිකයන් පැමිණ ඔහුව නැවත රැගෙන ගොස් ඇත. සංවිධානයෙන් පලායාමේ වරදට දඬුවම් ලෙස ඔහුව කඳවුරුවල ආයුධ සන්නද්ධ නොවන, සුළු සුළු වැඩවල කෙටි කාලයකට යොදවා ඇත. ඉන් පසුව ඔහුව සංවිධානයෙන් ඉවත්කර නිදහස් කර තිබේ. එයින් පසු නැවත නිවසට පැමිණි ඔහු රැකියාව ලෙස රා මැදීම කරමින් ජීවිකාව සපයාගෙන විවාහයක්ද කරගෙන ඇත. ඔහු පවසන ආකාරයට ඔහු හමුදා අත්අඩංගුවට පත් වන්නේ විවාහ වී මාස 5ක පමණ කාලයකිනි. එවකට ඔහුගේ බිරිඳ ගැබිනියකව සිට ඇත. එකී දරුවා ඔහු කිසිදිනෙක දැක නැත.

සිංහලෙන් ලියන ලද පාපොච්චාරණ නම් වූ ප්‍රබන්ධ ලියවිල්ලක් මත පමණක් පදනම් වෙමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු අසා, ජීවිතාන්තය දක්වා සහ වසර 70ක සිරදඬුවම් දෙකක් නියම වීමෙන් අනතුරුව CA/190/1995 අංක යටතේ ඔහු විසින් අභියාචනයක් අභියාචනාධිකරණයට ගොනු කළද 2003 වසරේදී පෙර තීන්දුවම නැවත ලැබී ඇත. ඉන් පසුව sc (spl) LA’No’ 165/2003 අංක යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නැවත ඉල්ලීමක් කළද, ඔහුට සහනයක් ලැබී නොමැත. නව යොවුන් වියේදී වසරක එක හමාරක කාලයකට දායක වූ අරගලයක් හේතුවෙන් අවසානයේ නොකළ ප්‍රහාරයන්ටද චෝදනා ලැබූ සෙල්ලපුල්ලෙයි මහේන්ද්‍රන්ගේ ජීවිතය මහ උළුගෙදරටම සින්න විය.

‘පහත් තැනින් යයි ගලා ජලේ’ යනුවෙන් කියමනක්ද තිබේ. කරුණා අම්මාන් යටතේ පුහුණු වී ඔහුගේ අණ යටතේ ක්‍රියාත්මක වුණු ළමා සොල්දාදුවකු වූ මහේන්ද්‍රන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් විඳිද්දී කරුණා අම්මාන් පාර්ලිමේන්තුවට පිවිසියේය. මුරපොළවල් මුර කළ මහේන්ද්‍රන් සිරගෙදර ලගිද්දී ප්‍රහාර සැලසුම් කළ කරුණා ඇමතිවරයෙක් වුණේය. කඳවුරුවලට ආහාර සැපයීමට ගිය මහේන්ද්‍රන් සිරබත් කද්දී කරුණා අම්මාන් සිය ඇමති මිතුරන් සමඟ සාද පවත්වමින් සිටියේය. වසර එක හමාරක් එල්ටීටීඊයේ සුළු රාජකාරි කළ මහේන්ද්‍රන්ට නිදහසක් පිළිබඳව බලාපොරොත්තු අධිකරණය ඉදිරියේ අතහරින්නට සිදුවෙද්දී නැව් ගණනින් ආයුධ ගෙන්වූ බව කියූ කේ.පී. කිසිදු චෝදනාවකින් තොරව නිදැල්ලේය. දයා මාස්ටර් දින කිහිපයකින් ඇප ලබා නිදහසේය. අපට ඇති ප්‍රශ්නය නම් යුක්තිය කොහිද යන්නය.

මුත්තයියා සහාදේවන් උදාහරණය

හිටපු විදේශ කටයුතු ඇමති ලක්ෂ්මන් කදිරගාමර් ඝාතන නඩුව අවසන් කිරීමට කොළඹ මහාධිකරණය කටයුතු කළේ ද මෙවැනිම සිදුවීමක් නිසාය. එච්සී/42/26/2008 අංකය යටතේ මෙම නඩුව විභාග විය.

කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටි එකම සැකකරු 2019 ජුනි 22 වැනිදා කොළඹ ජාතික රෝහලේදී මිය ගියේය. වකුගඩු රෝගී තත්ත්වය උත්සන්න වීම නිසාත් සැකකරුව බන්ධනාගාර නිලධාරීන් විසින් ජාතික රෝහලට ඇතුළත් කර ඇත. මේ බව අධිකරණයට දැනුම් දීමෙන් පසු මෙම තීරණය ගෙන ඇත. 2005 වසරේ අගෝස්තු 12 වැනිදා කොළඹ – 07 පිහිටි ඔහුගේ නිවසේදී ස්නයිපර් වෙඩික්කරුවකු විසින් හිටපු ඇමතිවරයාව ඝාතනය කෙරිණි. එය එල්ටීටීඊ ඝාතනයක් ලෙස හැඳින්වුණු අතර, එය  තහවුරු කිරීම සඳහා ද කරුණු ඉදිරිපත් විය.

හලාවත ප්‍රදේශයේ වෙල් යායක තිබූ තුවක්කුවක් එල්ටීටීඊය විසින් කදිරගාමර්ට වෙඩි තැබූ තුවක්කුව ලෙස හඳුන්වමින් අධිකරණයට ඉදිරිපත් කෙරුණද, අපරාධ විමර්ශනය පිළිබඳ විශේෂඥයන් පවසන්නේ එල්ටීටීඊය වැනි ත්‍රස්ත සංවිධානයක් කොළඹදී සිදු කරන ලද පහරදීම්වලට අදාළ ගිනි අවි යළිත් උතුරට ගෙන යාම කිසි දිනෙක සිදු නොකරන බවයි. අනෙක් අතට හමුදා බුද්ධි අංශ වාර්තාවලට අනුව ඒ කාලයේ එල්ටීටීඊයේ ගමන් මාර්ගය වැටී තිබී ඇත්තේ හලාවත හරහා ගොඩබිමින් නොවේ. ඇලකන්ද, හැමිල්ටන් ඇළ හරහා මීගමුවෙන් බෝට්ටු ආධාරයෙනි.

මේ නිසා අධිකරණය ඉදිරියේ පැවති නඩුව අවසන් වීමෙන් සැබෑ කුමන්ත්‍රණකරුවන් ජයග්‍රහණය කර ඇති බව පැහැදිලිය. අධිකරණයට ඉදිරිපත් වූ කරුණු මත එම පාර්ශ්වයෙන් අදාළ තීරණය ගෙන ඇත. අධිකරණය තීන්දු ගන්නේ ඉදිරිපත් වන කරුණු මතය.

එහෙත් අධිකරණයට ඉදිරිපත් නොවූ, මේ ඝාතනයේ කුමන්ත්‍රණකරුවන් ආරක්ෂා කිරීම සඳහා සඟවන ලද කරුණු කොතෙක් තිබෙන්නට ඇද්ද? එල්ටීටීඊ සංවිධානය මගින් හෝ එම සංවිධානයේ නම භාවිත කරමින් කොතරම් දේශපාලන කුමන්ත්‍රණ සිදු කරන්නට ඇද්ද? 2005 දී යෝජනා වූ පරිදි ලක්ෂ්මන් කදිරගාමර් අගමැති වූවා නම්, දේශපාලනය එතැනින් අවසන් වන චරිත කවුද? එවැන්නන් කී දෙනෙක් සිටියේද? කදිරගාමර් ඝාතන විමර්ශන කළ නිලධාරීන් මාරු කෙරුණේ ඇයි? මේ කිසිවකට උත්තර නැතිවම කදිරගාමර් නඩුව අවසන් විය.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන 2005 වසරේ පටන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මුත්තයියා සහාදේවන් නම් සැකකරුය, පසුගිය ජුනි 22 වනදා මිය ගියේ. එදිනෙදා කුලී වැඩ කරමින් ජීවත් වූ ඔහු, කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ එම ඝාතනයට මාසයකට පෙර කදිරගාමර් මහතාගේ නිවස ආසන්නයේ පිහිටි නිවසක බැල්කනියක් අසල තිබුණු අත්තක් කපා දැමීම නිසාය. කදිරගාමර් ඝාතනය කෙරුණු වෙඩි උණ්ඩ එල්ල වූයේ එම බැල්කනිය ආසන්නයේ වූ ජනේලයකින් වීම නිසා ඔහු වසර 14 ක් බන්ධනාගාරගතව සිටියේය. එහෙත් එම අත්ත සහිත ගස පිහිටි නිවසේ හිමිකරු අත්අඩංගුවට ගන්නට පොලිසිය කටයුතු කර නැත. ඒ කියන නිවසේ හිමිකරු පොලිසියේ හිටපු ඉහළ නිලධාරියකුගේ පුත්‍රයකු බවත්, ඔහු ව්‍යාපාර රැසක හිමිකරුවකු බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි. ජලය බැස ගියේ පහත් තැනින්ය.

එකම සැකකරු එල්ටීටීඊකාරයකු කෙරිණි. සිංහල හෝ දෙමළ හෝ ලියන්නට කියවන්නට ඔහු දැන සිටියේ නැත. ඔහුට දත් කැඩෙන්නට පහර දී පාපොච්චාරණ ලියවිල්ලකට අත්සන් ගැනිණි. කදිරගාමර් ඝාතන නඩුවේ වෙනත් සැකකරුවන් නොවීය. මේ පොලිසියේ නොහැකියාව වසා ගැනීමක්ද? එසේත් නැත්නම් කුමන්ත්‍රණකරුවන් සැඟවීමක්ද?

ඔහු කොළඹ-කිරුළපන, පොල්හේන්ගොඩ පදිංචිව සිටියෙකි. බිරිඳ ධනලක්ෂ්මී සහාදේවන් ය. ඔවුන්ට දරුවන් දෙදෙනෙකු සිටින අතර ඒ දෙදෙනා ද විවාහකයන්ය. ජීවිකාව සඳහා එදිනෙදා කුලීවැඩ කළ ඔහු 2005 වසර වන විට කොළඹ බුලර්ස් පාරේ නිවසක කුලී වැඩට යාමට පුරුදුව සිටි අතර, ඒ අහල – පහල නිවෙස්වලද වැඩපළ තිබූ විටෙක ඒවාද කර දුන්නේය.

සිදුවීම ඇරඹෙන්නේ 2005 අගෝස්තු 13 වන දිනය. සහාදේවන් සිය බිරිඳ සමඟ කිරුළපන පොළට ගොස් එමින් සිටිය දී කොළඹ අපරාධ කොට්ඨාසයෙන්  ඔහුව අත්අඩංගුවට ගැනිණි. ඉන්පසු ඔහු රැගෙන ගොස් ඇත්තේ බුලර්ස් පාරේ පිහිටි තලේසිංහම් නමැත්තෙකුගේ නිවසකටය. එම නිවසේ බැල්කනිය අසල තිබුණු ගසක අතු පෙන්වා ඒවා කැපුවේ ඔහු විසින්දැයි ප්‍රශ්න කර ඇත. එම අතු ඊට මාසයකට පමණ පෙර දවසක තමන් විසින් කැපූ බව ඔහු පිළිගෙන ඇත. තලේසිංහම් නමැති නිවෙස් හිමිකරුද ඒ මොහොතේ පවසා ඇත්තේ එය තමන්ගේ උපදෙස් මත සිදු කළ බවයි. ඉන්පසු සහාදේවන් ගෙන ගොස් ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයටයි.

සහාදේවන් පැවසූ ආකාරයට ඔහුගේ ජීවිකාව සඳහා කුලී වැඩ කළ අතර, මෙම තලේසිංහම් නමැත්තාගේ නිවසේ බැල්කනිය දෙසට වැවෙන පිහිඹියා ගසක අතු කපා දැමීමද මාස එකහමාරකට පමණ වරක් දිගින් දිගටම කළ කටයුත්තකි. එදින ද ඔහුට එහි විශේෂයක් තිබී නැත. කොළඹ අපරාධ කොට්ඨාසයට ගෙන ගිය ඔහුගෙන් ප්‍රශ්න කිරීම අරඹා ඇත්තේ “ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයාට වෙඩි තියන්න උදව් කළේ තමුසෙද?” යනුවෙනි. සහාදේවන්ට අනුව ඒ සමගම ඔහුගේ මුහුණට දරුණු පාපහරක්ද එල්ල වී තිබේ. ඔහුගේ ඉදිරි දත් හතරක් කඩා දමමින්, ඉතිරි දත් ඇද කරන්නට පටන් ගන්නේ මේ පා පහරයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ මාස තුනක් රඳවා තබා ඇති ඔහුව 2005 නොවැම්බර් 16 වන දින රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඉන්පසුව 2008 වසරේදී කොළඹ අංක 1 මහාධිකරණයේ ්‍යක්‍/4226/08 නඩු අංකය යටතේ සහාදේවන්ට එරෙහිව නඩු පැවරෙන්නේ ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඊට අනුබල දීම යන චෝදනා යටතේය. මෙම නඩුවේ චූදිතයන් අතර එල්ටීටීඊ නායක ප්‍රභාකරන්, එහි බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් වැන්නන් සහ සහාදේවන්ගේ දුරකථනයේ තිබූ අංකයක් නිසා අත්අඩංගුවට ගැනුණු ඔහුගේ අසල්වැසි ඥාතියකු වන බාබු නමැත්තෙකුද වෙයි.

සහාදේවන්ට නඩු පැවරීමට යොදාගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුගෙන් ලබාගත් බවට පාපොච්චාරණ ලියැවිල්ලක් පමණි. නිසි අධ්‍යාපනයක් නොලත්, හරිහැටි ලිවීමට-කියවීමට නොදන්නා සහාදේවන් එම පාපොච්චාරණය නම් ලියැවිල්ලේ අඩංගු වූයේ කුමක්දැයි කියාවත් දැන සිටියේ නැත.

කදිරගාමර් ඝාතනය කෙරුණු දවසේ සහාදේවන්ගේ හැසිරීම පිළිබඳව ප්‍රශ්න කිරීමට යැයි කියමින් ඔහුගේ දියණියද කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන ගොස් රාත්‍රිය වනතුරු ප්‍රශ්න කර ඇත. ඔහුගේ බිරිඳගේ සොහොයුරාගෙන්ද ප්‍රශ්න කර ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ ඔවුන්ව නිදහස් කිරීමට යැයි පවසා ලබා දෙන ඕනෑම ලියවිල්ලකට අත්සන් කිරීමට සහාදේවන් එකඟ වී තිබේ. කොළඹ මහාධිකරණය මගින් මෙම පාපොච්චාරණ ලියවිල්ල සහාදේවන් ස්වේච්ඡාවෙන් ලබාදුන්නක් බවට පිළිගෙන ඇත.

සහාදේවන් වැරදිකරු නම් මෙතරම් කාලයක් පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව කල් මැරුවේ ඇයි? කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන් වෙනත් කිසිවකු අත්අඩංගුවට නොගැනුණේ ඇයි? අත්ත කපා ඝාතනයට සහයෝගය දුන්නේ සහාදේවන් නම්, ඔත්තු බැලුවේ, තුවක්කුව ගෙනාවේ, වෙඩි තැබුවේ කවුද? මේ ඝාතනයේ කුමන්ත්‍රණකරුවන් සැඟවීමේ සැලසුමක් ක්‍රියාත්මක වී ඇති බව පැහැදිලිය.

මේ ජාතියේ අපරාධ කොපමණක් මේ පොළොවේ සිදු වූයේ ද? ඉදිරියටත් සිදු නොවන්නේද? සහාදේවන් සහ මහේන්ද්‍රන් යනු ඒ අතුරින් අනාවරණය වූ සිදුවීම් දෙකක් පමණි. සැබෑ අපරාධකරුවන් තවදුරටත් යහතින්ය.

අසංක කරුණාරත්න

  රුවන් නෙලු

Leave a Response