ක්‍රීඩා

අපි වෙනස් නොවුණට ලෝකය වෙනස් වෙනවා

57views

ලෝකයට විස්සයි 20 ක්‍රිකට් ආව කාලෙ අපි තමයි හපන්නු. දෙවරක්ම අනුශූරයො වෙලා වරක් ශූරයො වෙන්නත් පුළුවන් වුණා. හැබැයි අද කවුරු හරි කියනවා නම් එදා ගහපු ක්‍රිකට්වලට වඩා අද අපි බැහැලා කියලා… ඒක එච්චර ඇත්ත කතාවක් නෙමෙයි.

අපි ඊට වඩා සමහර අංශවලින් දියුණු වෙලා ඇති. එදා ක්‍රීඩකයන් මැනපු මිනුම්දඬුම අරගෙන අද ක්‍රීඩකයන් දෙස බැලු‍වොත්, වර්තමානයේ එදාට වඩා ඉස්සරහින් ඉන්න ක්‍රීඩකයොත් ඉන්නවා වෙන්න පුළුවන්.

එහෙනම් අපි කොහොමද පරදින්නෙ…?

අපිව පහු කරලා අනිත් අය ගිහින්. අපි ඉබ්බ එක්ක රේස් එක්ක දිව්ව හාවා වගෙ අපේ හැකියාව ගැන අතීත කතා කියමින්, ස්මරණය කරමින් සැතපිලා ඉන්නවා. අපි තලු‍ මර මරා අතීත කාමය වළඳන්න උපන් මිනිසුන් පිරුණු රටක්.

එළියට ගහන්න ඕනි. මේක සරලයි. කාට වුණත් තේරෙනවා. අද විස්සයි 20 තරග අරගෙන බලන්න. ගහන හයේ පහර ප්‍රමාණය ගත්තම අපේ හයේ පහර ප්‍රමාණය ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන් ද?මේක ක්‍රිකට් නෙමෙයි. සාමාන්‍ය දැනුම. අපි හයේ ඒවා ගහන්නෙ අඩුවෙන්.

අපිට පස්සෙන් හිටපු අය කොහොම ද අපිට වඩා ගහන්නෙ දැන්…?

ඊ ළඟ ප්‍රශ්නය එන්නෙ එතැනට. ඒ අය වෙනස් වෙලා. හයේ පහර වැඩියෙන් ගහන්න පුළුවන් ක්‍රීඩකයො හොයාගෙන ද…? නැහැ. හදලා. වෙන ආරක පිතිකරුවන්, ක්‍රීඩකයන් හදලා. අපේ රටේ එහෙම හැදිලි නැහැ. අහම්බයෙන් හම්බ වෙනවා. ඒක ඊට පස්සෙ ඔප දමලා අරගෙන තමන්ගෙ සීල් එකත් ගහ ගන්නවා. ඒ අපේ හැටි.

දැන් තියෙන්නෙ හම්බ වෙනකම් ඉන්නව ද…? හදනව ද කියන එක ඉක්මනින් තීරණය කරන්න. මීටර් 80කට විතර එහා පැත්තට කෙළින් ගහන්න පුළුවන් පිතිකරුවො පස් හය දෙනෙක් හදා  ගන්නෙ නැතුව මේ කරන වැඬේ අධෝ මාර්ගයට කොන්ක්‍රීට් දාලා විරේකයක් පෙව්ව වගේ.

ජේ. නරේන්ද්‍ර

Leave a Response