අදහස්

21-22 සංශෝධන අවශ්‍ය ද?

116views

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ධුරය දරමින්, ආණ්ඩුවට එක් වී සිටින විජේදාස රාජපක්ෂ මේ වන විට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන යෝජනා ඉදිරිපත් කර තිබේ. එම සංශෝධන යෝජනාවේ මූලික පදනම වී තිබෙන්නේ යම් දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් මහා මැතිවරණයේ දී දිස්ත්‍රික්කයකින් මන්ත්‍රී ධුරයක් ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු සියයට 5ක ඡන්ද කඩඉම සියයට 12.5ක් දක්වා ඉහළ දැමීමයි. එසේම 22 වැනි සංශෝධන යෝජනාවේ මූලික පදනම වන්නේ විධායක ජනාධිපති බලතලවලට පාර්ලිමේන්තුව සහ අධිකරණය යටත් කිරීමයි. ස්වාධීනව තිබිය යුතු විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන කුලුනු තුන සතු සියලු බලතල ජනාධිපති යටතේ ක්‍රියාත්මක විය. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එය වඩාත් බියජනක අන්තයකට ගෙන ගිය අතර, 19 මඟින් එම තත්ත්වය අහෝසි කෙරිණි. 22 වැනි සංශෝධන යෝජනාවේ මූලික පදනම 18 වැනි සංශෝධනයේ බලතල යළිත් ජනාධිපති අතට පත් කිරීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කර තිබෙන මෙම සංශෝධන යෝජනා දෙක පිළිබඳව විවිධ ක්ෂේත්‍රවල ප්‍රාමාණිකයන් සහ පූජ්‍ය පක්ෂය දකින්නේ මේ අයුරිනි.

රටට මහා විනාශයක්

මහාචාර්ය පූජ්‍ය අත්තංගනේ රතනපාල හිමි

විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කර තිබෙන 21 සහ 22 කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන දෙකම අද ලෝකයේ දේශපාලන තත්ත්වයට නොගැළපෙන බව මුලින්ම කියන්න ඕනෑ. අනෙක විධායක බල අත්තනෝමතිකත්වයේ අනිටු පල විපාක ඕනෑ තරම් අත්විඳි රටක් අපි. මේ පාලන ක්‍රමය මඟින් විධායකය ශක්තිමත් කිරීමේ ආදීනව ඒක ඇති කළ දා ඉඳලාම ඒ ඉතිහාසය පුරාම අපි දැක්කා.

අද අපේ රටේ තියෙන්නේ, ජාතිභේද ඇති කර විනාශය කරා යන මාවතේ ප්‍රතිවිපාක බිහිසුණු විදියට අත්දැකපු මෑත ඉතිහාසයක්. ඉතින්, අපි කරන්න ඕනෑ සුළු ජන කණ්ඩායම් නොසලකා හරින විදියේ කටයුතු කරලා, ඔවුන්ගේ සිත් රිදවලා ලෝකයට ඒ ගැන කතා කරන්න මාතෘකා නොදිය යුතු තැනක. ඒක සදාචාරසම්පන්න නැහැ. ලෝකයා හමුවේ රටට කැළලක්. ආපසු වර්ගවාදී ගිනි ඇවිළෙන කිසිම දෙයක් නොකළ යුතු වුණත්, දැන් කරන්නේම එවැනි කටයුතු බවයි පෙනෙන්නේ.

මේ වගේ ක්‍රියාමාර්ග තෝරන්නේ, තමන්ගේ බලය වැඩි කර ගැනීමේ තනිකරම ආත්මාර්ථකාමී හැඟීමෙන්. අපේ රටට අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ, සියලු දෙනාට සෙත සැලසෙන ක්‍රමයක් ඇති කරන්න. නමුත්, මේ ගොල්ලො බලන්නේ, එක ජන කොටසක් සතුටු කරලා බලය ගන්න. මේකෙන් රටට වෙන්නේ මහා විනාශයක්. තමා කේන්ද්‍රගත කර ගත්ත බල වුවමනාව අනුව කරන දේවල්වලින් රටට කිසිම යහපතක් වෙන්නේ නැහැ.

අනෙක හදිසියේ මේ ව්‍යවස්ථා සංශෝධන ගේන්නේ විසිවැනි සංශෝධන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙද්දී. ඒකේ මූලික හරය අත්තනෝමතික පුද්ගල කේන්ද්‍ර බලතල අයින් කරන්න. ඒකයි, රටට වැදගත් වෙන්නේ. ජනාධිපතිවරණය ආව නිසා ඒ සංවාදය යට ගියා. ඔය අතරයි දැන් තවත් ජනාධිපති බලයකට පාර කපන, සුළු ජන කොටස්වල හිත් බිඳින මේ යෝජනා ගේන්නේ. මේක තනිකරම ආත්මාර්ථකාමී වැඩක්. බලය ගැන විතරක් හිතන දෙයක්.

මේ සංශෝධනයෙන් රටට වෙන්නේ ලොකු හානියක්

සරත් පීරිස් පියතුමා

අනුරාධපුර, පදවිය

අපේ රට තුළ ක්‍රියාත්මක වෙන්නේ බහු පක්ෂ මැතිවරණ ක්‍රමයක්. ඩොනමොර් ආණ්ඩුක්‍රමය යටතේ අපිට මේක ලැබුණේ. දැන් පවතින්නේ ඒ තුළින් සංවර්ධනය වූ මැතිවරණ ක්‍රමයක්. සමානුපාතික ක්‍රමය කියන්නේ, එහි දියුණු තත්ත්වයක් බවයි. මගේ අදහස. වර්තමාන ආණ්ඩුව ජනාධිපතිවරණයෙන් ප්‍රබල ජයග්‍රහණයක් ගත්තත්, මහා මැතිවරණයේ දී ඒ බලය ඒ විදියට ම ගැනීමේ අභියෝගයට මුහුණ දීලා ඉන්නේ.

මේ තත්ත්වය අවංකව පිළිනොගෙන ජනමතයට හිස නමනවා වෙනුවට විශේෂයෙන් දෙමළ සහ මුස්ලිම් පක්ෂවලට තිබෙන දේශපාලන අයිතිය අභියෝගයට ලක් කිරීම වැරදියි. ඒ අයගේ අදහසුත් රට පාලනයේ දී අර ගන්න ඕනෑ. දේශපාලන ශිෂ්ටත්වය කියන්නේ ඒකට. විශේෂයෙන් ආණ්ඩුව බලන්නේ උතුරු, නැඟෙනහිර දෙමළ ජනතාවගේ පෑරුණු සිත් සුවපත් කරන්න නොවෙයි. කාපට් පාරක් හදලා දීලා ඒ හිත් සුවපත් කරන්න බැහැ. වරදක් වෙලා නම්, එය නිවැරදි කරලා සමීප වීමයි තිබෙන උත්තරය. ඒකවත් නොකර දේශපාලනයේ දී කොන් කරන්න උත්සාහ කිරීමක් තමයි, 21 වැනි සංශෝධන කෙටුම් පතෙන් කරන්න උත්සාහ කරන්නේ.

අනෙක මම තවත් දෙයක් කියන්න ඕනෑ. ආගමික නායකයන් ඉන්නේ ජනතාවගේ සිත්සතන් තුළ දහම ජීවත් කරවන්න. ඒ අය දේශපාලන බලය සම්බන්ධයෙන් කටයුතු නොකළ යුතු බවයි මගේ අදහස. රට දියුණු කරන්න ඒකාධිපති, මිලිටරි බලයක් ඕනෑ බවත් සමහර පූජකතුමන්ලා කියනවා. කොමිෂන් සභා අහෝසි කරලා, විධායක බලය තහවුරු කරලා, මිනිසුන් ඒ ගොල්ලන්ගේ අතවැසියන් කරන්න බලන්නේ. වහලුන් කරගෙන පාලනය කරන්න බලන්නේ. ඒකට කැමති පිරිසකුත් නැතුවා නොවෙයි. මැතිවරණ අහෝසි කර ඒ අයට කැමති පාලනයක් ගෙන යන්න. මේ සමස්ත තත්ත්වය රටේ ජනතාව තේරුම් ගන්න කියලයි මට කියන්න තියෙන්නේ. ජනතාව කල්පනා නොකළොත්, රටට ලොකු හානියක් වෙන්නේ.

ආඥාදායක බලතල ලබා ගැනීමේ පියවරක් !

නීතිඥ ජාවෙඞ් යූසුෆ්

ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික

කෙටියෙන් කිව්වොත්, මේ සංශෝධන යෝජනා දෙකම අපේ ව්‍යවස්ථාවේ මූලධර්මවලට සහ ඒ මතින් නිරූපණය කරන තත්ත්වයන්ට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධයි. 1972 ව්‍යවස්ථාව ගේන කොට ජේ. ආර්. ජයවර්ධන මහත්තයා විධායක ජනාධිපති ධුරය පිළිබඳව අදහස සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිවරියට ඉදිරිපත් කර තිබුණා. ඒක ක්‍රියාත්මක නොවුණු නිසා 1978දී හයෙන් පහක බලයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී විධායක බලතල සහිත තනතුරක් හඳුන්වා දුන්නා.

ඒ ව්‍යවස්ථාවේ ස්වරූපය මූලික වශයෙන් වෙනස් වුණේ, 17 වැනි සංශෝධනයෙන්. පරිවාස ආණ්ඩුව යටතේ ජනතා විමුක්ති පෙරමුණ මේ සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් මැදිහත් වුණා. නමුත්, 18 වැනි සංශෝධනයෙන් මේ තත්ත්වය සම්පූර්ණයෙන් අහෝසි කළා. ස්වාධීන කොමිෂන් සභා තිබුණත්, ක්‍රියාත්මක වුණේ නැහැ. ජනාධිපති ධුරය එක් පුද්ගලයකුට දැරීමේ අවස්ථාව සීමාරහිත තත්ත්වයට පත් කළා. පොලිසිය, අධිකරණය, මැතිවරණය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සියල්ල ම අහෝසි වන තත්ත්වයකට පත් වුණා. 19 වැනි සංශෝධනයෙන් නැවත වතාවක් ස්ථාපිත කළේ මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් වගේම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයි.

රන්ජන් රාමනායකගේ මේ පිස්සු කෙළීමෙන් 19 වැනි සංශෝධනයෙන් ලබා දී තිබූ සාධනීය ගුණාංග අභියෝගයට ලක් කරන්න අවස්ථාව ලැබී තිබෙනවා. හැබැයි, 19 වැනි සංශෝධනය තුළින් අවංකව උත්සාහ කළේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියත්, රාජ්‍ය පාලනයේ දී අධිකරණය, පොලිසිය, මැතිවරණ,  රාජ්‍ය පරිපාලනය දේශපාලන අධිකාරියට යටත් නොකර ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමයි. ඉදිරිපත් කර තිබෙන 21 සහ 22 සම්මත වුණොත්, ජනතාවට විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් අහිමි වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපය සම්පූර්ණයෙන්ම අහිමි වෙනවා. දැන් ආණ්ඩුවත් එක්ක ඉන්න විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මේ කර තිබෙන්නේ, මුට්ටිය දා බැලීමක්. එහෙම නැත් නම්, මේ යෝජනාව ආණ්ඩුවටම ගේන්න පුළුවන්. එහෙම නොකර තුනෙන් දෙකේ බලයක් ලබාගෙන ශක්තිමත් ආණ්ඩුවක් පිහිටු වීම ගැන කතා කරන්නේ, ආඥාදායක බලතල ලබා ගැනීමටයි. ඊට රට තුළ තිබෙන ප්‍රතිචාරය විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා හරහා ලබා ගන්නා බවයි, මට පේන්නේ. රටේ යහපත ගැන සිතන කාටවත් මේ යෝජනා දෙක පිළිගන්න බැහැ.

සමහරක් වීරයෝ වෙන්න කරන වැඩක්

නීතිඥ සුනිල් වටගල

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ විජේදාස රාජපක්ෂයි. එම සංශෝධනය වෙනුවෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන් විශාල වැඩ කොටසක් කරපු විජේදාස රාජපක්ෂ විසින්ම අද 19ට පස්ස හරවනවා. ඒ නිසා අපි එය දකින්නේ විජේදාසගේ ගෝත්‍රික මෙන්ම ‘මං පොර වීමේ’ වැඩක් ලෙසයි. ඒ වගේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙන්නේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවල දී ජනතාවට වග කියන ජනතාවාදී ප්‍රතිසංස්කරණ පමණක් සිදු කරන බවයි. නමුත්, විජේදාස රාජපක්ෂ ඉන්නේ ඊට හාත්පසින්ම විරුද්ධ පැත්තේ.

මේ යෝජනා සම්මත වීමට ඇති ඉඩකඩ අඩුයි. ඒකට ප්‍රධාන හේතුව ප්‍රධාන දහරාවේ දේශපාලන පක්ෂවල සහයෝගයවත් ඊට ලැබීම සැකසහිත නිසා. නමුත්, මෙම යෝජනා සම්මත වුණොත්, එය මෙරට දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්. වර්තමාන ව්‍යවස්ථාව සම්මත කරපු මුල් කාලයේ තිබුණේ 12.5%ක නීතිය තමයි. ඒත් දේශපාලන සටන්, තරුණ කොමිෂන් සභාවේ වාර්තාවේ නිර්දේශ සහ කුඩා දේශපාලන පක්ෂවල ඉල්ලීම් ආදිය සැලැකිල්ලට ගැනීම නිසයි එම මට්ටම 5%ක් දක්වා පහත දැම්මේ.

දැනට බලපැවැත්වෙන සමානුපාතික නියෝජන ක්‍රමය තුළ පවා ඇතැම් දේශපාලන පක්ෂ ලබන ඡන්ද ප්‍රමාණය සහ ඔවුන්ට ලැබෙන මන්ත්‍රී ධුර සංඛ්‍යාවේ අසාධාරණ වෙනසක් පවතින බව අපි දන්නවා. එහෙම තියෙද් දී විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ යෝජනාව මඟින් සිදු කෙරෙන්නේ නියෝජන ක්‍රමය ආපසු හැරවීමක්. මෙවැනි යෝජනා ඉදිරිපත් කිරීම මඟින් විජේදාස රාජපක්ෂ බලාපොරොත්තු වෙන්නේ ජනාධිපතිවරයා සතුටු කිරීම විතරයි. ඒත් එමඟින් ඇති වෙන අනතුර බරපතළයි. රටේ විවිධ මතවාද පාර්ලිමේන්තුව තුළ නියෝජනය වෙන්නේ නැත් නම්, ඒවා පාර්ලිමේන්තුවෙන් පිටත එළියේ ප්‍රකාශ වීම නවත්වන්න බැහැ. ප්‍රශ්න පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවෙන් විසඳා ගන්න ප්‍රජාතාන්ත්‍රික ඉඩකඩ නැත්නම්, ඒවා ප්‍රජාතාන්ත්‍රික නොවන වෙනත් ක්‍රම වෙත තල්ලු වීමේ ඉඩකඩ තියෙනවා.

ඒ වගේම මොන ක්‍රමයෙන් හරි, මෙම යෝජනා සම්මත වුණොත් ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකය තුළ ශ්‍රී ලංකාව පහළට වැටීම වළක්වන්න මේ පාලකයන්ට බැරි වෙනවා.

මේ යෝජනාව භයානකයි

ඩිව් ගුණසේකර

ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය

මේ යෝජනාව භයානක කාරණාවක්. විජේදාස කියන්නේ 12.5% සිට 5% දක්වා ගෙනාවේ මුස්ලිම් කොන්ග්‍රස් එකේ බලපෑමට ප්‍රේමදාස මහතා කළ දෙයක් කියලයි. ඒක අමූලික පට්ටපල් බොරුවක්. 1986 – 1987 කාලයේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා පත් කළ තේරීම් කාරක සභාවේ මම සාමාජිකයෙක්. මමත්, දිනේෂ් ගුණවර්ධනත් එකතු වෙලා විකල්ප වාර්තාවක් ගෙනාවා. අපි කාරක සභාවේ නිල වාර්තාවට එකඟ වුණේ නැහැ. ඒකට කාරණා දෙකක් හේතු වුණා. අපි කිව්වා, ඡන්දයට හැඳුනුම් පත අනිවාර්යය කරන්න. ප්‍රේමදාස මහත්තයා බැහැ කිව්වා. ඊළඟට තමයි 12.5%ක කඩඉම් යෝජනාව. අපි ඒකට එකඟ වුණේ. නැහැ. අපේ අදහස වුණේ ඒ සීමාව ලොකු සීමාවක් බවයි. එහෙම වුණොත්, කුඩා දේශපාලන පක්ෂවලට මෙන්ම දේශපාලන ව්‍යාපාරවලටත් ඒක තදින් බලපාන බව අපි කිව්වා. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට වගේම බහු පක්ෂ නියෝජනයට බරපතළ තර්ජනයක් විදිහට අපි දැක්කා. ඒ නිසා වමේ අපි සියලු දෙනාම ඒ ඉලක්කමට විරුද්ධ වුණා. බැටී වීරකෝන්, වාසුදේව නානායක්කාර වගේම දෙමළ, මුස්ලිම් පක්ෂ සියල්ලත් ප්‍රේමදාසගේ මේ යෝජනාවට විරුද්ධ වුණා. එතැන දී අපි බලපෑම් කළා මේ අගය ගැන. ඒ බලපෑම් නිසා තමයි 12.5%ක අගය 5%ක් දක්වා පහත දැම්මේ. අපේ අරමුණ වුණේ ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කිරීම.

අද රටේ පවතින්නේ බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය. විජේදාස රාජපක්ෂ මහත්මයාට මම කියන්නේ, මුලින්ම කරුණාකරලා ඒක තේරුම් ගන්න කියන එක. ඔහු ව්‍යවස්ථාදායකය පිළිබඳව විශාරදයෙක් වෙන්න පුළුවන්. අද ලොව පුරා පක්ෂ දෙකේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ලෝකයේ එසවෙන්නේ බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය. ඒ යථාර්ථය දියුණු ක්‍රමයක්. එතැනින් ආපස්සට යන්න අපිට බැහැ.

එදත් මේවා කළේ පටු අරමුණුවලට

රෝහණ හෙට්ටිආරච්චි

විධායක අධ්‍යක්ෂ, පැෆරල් සංවිධානය

දැනට බලපැවැත්වෙන මැතිවරණ නීතිය අනුව අවම සීමාව 5%ක මට්ටමක පවත්වා ගෙන යනු ලබන්නේ ප්‍රධාන දහරාවේ නොවන දේශපාලන පක්ෂ සහ විකල්ප කණ්ඩායම්වලට ද ව්‍යවස්ථාදායකය තුළ ප්‍රජාතන්ත්‍රීය නියෝජනයක් ලබා දීමේ සමාජයීය වුවමනාව අනුව.

විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ඉදිරිපත් කර ඇති එක යෝජනාවක් මඟින් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලැබීමට දැනට බලපැවැත්වෙන 5% අවම ඡන්ද සීමාව 12%ක් තෙක් වැඩි කරන ලෙස ඉල්ලා තිබෙනවා.

වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කළ මුල් අවස්ථාවේ තිබුණේත් 12.5%ක අවම ඡන්ද ප්‍රමාණයක සීමාවක්. ඒත් පසුව දේශපාලන පක්ෂවලින් ලද ඉල්ලීම අනුවයි එය 5%ක මට්ටමකට ගෙන ආවේ.

ශ්‍රී ලංකාවේ දැනට දේශපාලන පක්ෂ හැත්තෑවකට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි කරලා තිබෙනවා. ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ සඳහා විශාල අපේක්ෂකයන් සංඛ්‍යාවක් තරග වැදීම පිළිබඳව පසුගිය දිනවල සමාජ කතිකාවක් පැවතුණා.

පසුගිය ජනාධිපතිවරණයට අපේක්ෂකයන් රාශියක් ඉදිරිපත් වීමත් සමඟ ඡන්ද පත්‍රිකාව අඩි දෙකකටත් වඩා දිගු වීම ගැන සමාජය කතා කළා. එවැනි ප්‍රවණතා පාලනයට විධිමත් ක්‍රියාමාර්ග අවශ්‍ය කරන නමුත්, කුඩා දේශපාලන පක්ෂ සහ ඇතැම් ජනවාර්ගික සහ ප්‍රාදේශීය කණ්ඩායම්වලට පාර්ලිමේන්තුව තුළ නියෝජනය සඳහා ඇති ඉඩකඩ අහුරාලන යෝජනා ඊට නිසි විසඳුම නොවෙයි.

අනෙක් අතින් මෙවැනි යෝජනාවක් ගෙන එනවා නම්, එමඟින් කොන් වෙන සමාජ-දේශපාලන කණ්ඩායම්වලට ජාතික ලැයිස්තුව තුළින් හෝ නියෝජනයක් සහතික කරනු ලැබීම අනිවාර්ය අවශ්‍යතාවක් වෙනවා.

ජාතික ලැයිස්තුව පසුගිය කාලය පුරාම පාවිච්චි කරලා තියෙන්නේ පාර්ලිමේන්තුව තුළ නියෝජනයක් නොලබන කණ්ඩායම් සහ වෘත්තීයවේදීන්ට නියෝජනයක් ලබා දීමට නොව පරාජිත අපේක්ෂකයන් සහ සිය ආධාරකරුවන් පාර්ලිමේන්තුවට ඇතුළු කර ගැනීමටයි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉතිහාසය බලන විට දේශපාලනඥයන් ඒවා ගෙනැවිත් තිබෙන්නේ දිගුකාලීන අරමුණු හෝ සැලැසුම් අනුව නොව ඒ ඒ අවස්ථාවන්හි දේශපාලනඥයන්ගේ වෙනත් වුවමනා එපාකම් අනුවයි යන්න මගේ අදහසයි.

නීති විරෝධීයි

නීතිඥ එස්.ජී. පුංචිහේවා

කොමසාරිස් – තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කොමිසම

මේ ව්‍යවස්ථා සංශෝධන මූලික මිනිස් අයිතිවාසිකම් පැත්තෙන් ගත්තා ම නීති විරෝධී වගේම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි. සමානුපාතික මැතිවරණ ක්‍රමය හඳුන්වා දීමේ දී සියයට 12.5ක කඩඉමක් සටහන් කර තිබුණා. නමුත්, වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පියවරක් වශයෙන් එය සියයට 5 දක්වා පහත හෙළුවා. මෙය නැවත අහෝසි කළා ම සුළු පක්ෂ, සුළු දේශපාලන කණ්ඩායම් සහ අලුත් විකල්ප මතවලට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි වෙනවා.

දේශපාලනයේ දී අලුත් මතවාදවලට, සංකල්පවලට එක් වරම ජනතා බලයක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් සැලකිය යුතු කාලයක් ගත වෙනවා. නමුත්, ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළ ඊට ඉඩ ලැබිය යුතුයි. එයින් බැහැර කරන්නේ නම්, අතිශය භයානක තත්ත්වයක් හැටියටයි මම දකින්නේ. ලෝකයේ අත්දැකීම් ගත්තත්, සිදු වී තිබෙන්නේ ඡන්දයෙන් කරන්න බැරි දේශපාලනය උණ්ඩයෙන් කරන්න යොමු වීමයි. අපි ඒකට ඉඩ නොතැබිය යුතුයි.

අනෙක් පැත්තෙන් 22 වැනි සංශෝධනය අරකටත් වැඩිය භයානකයි. ශ්‍රේෂ්ඨාධිකරණයට, අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීමේ ඉඳලා ම සියල්ල මෙහෙයවීමේ බලය ජනාධිපතිවරයාට නතු වෙනවා. ඒ වගේම 18 වැනි සංශෝධනයෙන් තහවුරු කර තිබෙන ඒකාධිපති බලතල සියල්ල නැවතත් ගෙන ඒමක් සිදු වෙනවා. 21 වැනි සංශෝධන යෝජනාව දේශපාලන පක්‍ෂවලට බලපානවා නම්, 22 වැනි සංශෝධන යෝජනාව මුළු රටේ ම ජන ජීවිතවලට බලපෑම් සිදු කරනවා. අනියම් ආකාරයකින් ඒකාධිපතියකු බිහි කරන මේ තත්ත්වය සමාජයේ හැම දෙනාම වටහාගෙන පිටුදැකිය යුතු බවයි මගේ අදහස.

■ සංවාද සටහන්

  ප්‍රියදර්ශන දයාරත්න සහ ශාලික විමලසේන

Leave a Response