විදෙස් පුවත්

ජනවාරි 03 ප්‍රහාරය සහ ලෝක දේශපාලනය

118views

පසුගිය 03 වැනිදා ඉරාකයේ බැග්ඩෑඞ් නුවර ගුවන්තොටුපළ ආසන්නයේ මාර්ගයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉරානයේ දෙවන බලවත්ම පුද්ගලයා ලෙස සැලකෙන කාසේම් සුලෙයිමානි නම් හමුදා ජෙනරාල්වරයා ඝාතනයට ලක් විය. මෙම ප්‍රහාරය එල්ල කරන ලද්දේ තමන් විසින් බව ඇමෙරිකාව නොපමාවම ප්‍රකාශයට පත් කළේය. ඉරානයේ විප්ලවීය හමුදාවේ වඩා බලවත්ම විශේෂ බළකාය වන ‘කොඩ්ස්’ බළකායේ ප්‍රධානියා වූයේ මෙම ජෙනරාල්වරයා ය. ඔහු 1998 වසරේ සිට මෙම බළකායට නායකත්වය ලබා දුන් බව වාර්තා වේ. එමෙන්ම ඔහු ඉරාන ආධ්‍යාත්මික නායකයා ලෙස සැලකෙන අයතුල්ලා කුමේනිගේ සමීපතමයකු ලෙස ද සැලකේ. බැග්ඩෑඞ් ගුවන්තොටුපළට පැමිණ කිසියම් හෙළි නොවුණ කටයුත්තක් සඳහා පිටත්ව යන අතරතුර මෙම ගුවන් ප්‍රහාරය එල්ල වී තිබේ. සිද්ධියෙන් ඔහු සමඟ සිටි සියලු දෙනා ඝාතනයට ලක් වූ බව වාර්තා විය. එය ප්‍රමාණයෙන් පුද්ගලයන් 10කි. මෙම ප්‍රහාරය එල්ල කරන ලද්දේ ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් MQ-9 Reaper නමින් හඳුන්වන ඩ්‍රෝන යානා යොදාගෙන බව වාර්තා විය. මෙම ප්‍රහාරයත් සමඟ නැවත වතාවක් ලෝක දේශපාලනය බලවත් ලෙස උණුසුම් වී තිබේ. සිද්ධියත් සමඟ ඉරානය ප්‍රකාශයට පත් කළේ තමන් ඇමෙරිකාවෙන් පළිගන්නා බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් ඇමරිකාව ප්‍රකාශ කළේ තමන්ට කිසියම් ප්‍රහාරයක් එල්ල වුවහොත්, ඉරානයේ වැදගත්ම ස්ථාන 52ක් වෙත දරුණු ප්‍රහාරයක් එල්ල කරන බවයි. මේ වන විට මෙම රටවල් දෙක විසින් එකිනෙකාට වාග් ප්‍රහාර එල්ල කර ගනිමින් සිටින තත්ත්වයක් දැකිය හැකිය.

ඇමෙරිකාව විසින් එල්ල කරන ලද මෙම ප්‍රහාරය නිසා ඉස්මතු වන බලවත් ලෙස අවධානයට ලක් විය යුතු තත්ත්වයන් කිහිපයක් දැකිය හැකිය. පළමුවැන්න මෙම ප්‍රහාරය එල්ල කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද සාමාජිකත්වය දරන රටක හමුදා නායකයකු ඉලක්ක කරගෙන ය. අනෙක් වැදගත්ම කරුණු වන්නේ එම පහර දීම සිදු කරන්නේ අදාළ හමුදා නායකයා වෙනත් රටක සංචාරය කරමින් සිටින අතරතුරය. මෙම ප්‍රහාරය මගින් හෙළි කෙරෙන තිත්ත ඇත්ත නම්, ඇමෙරිකාව තමන්ට හිතෙන ඕනෑ ම අවස්ථාවක තැන නොතැන නොබලා ප්‍රහාර එල්ල කර තමන්ට අකැමැති පුද්ගලයන් මරා දමන දාමරිකයකුගේ තැනට ඇදවැටී ඇති බවයි. ඒ අනුව තමන් අකමැති, තමන්ට යටත් නොවන ඕනෑම පුද්ගලයකු ලෝකයේ ඕනෑම තැනක දී මෙලෙස ඝාතනය කර දැමීමට නොපසුබට වන බවට ඇමෙරිකාව විසින් ලබා දී ඇති පණිවිඩයයි. ඒ අනුව ඇමෙරිකාවට අවනත නොවන රාජ්‍ය නායකයකුට පවා ලෝකයේ වෙනත් රටක සංචාරයක නිරතව සිටින අතරතුරක දී වුව ද, මේ ආකාරයට ප්‍රහාරයකට ලක් විය හැකි බරපතළ අවදානමක් ඇමෙරිකාව විසින් මේ වන විට ලෝකය තුළ ගොඩනඟා තිබේ. මීට පෙර ද ඇමෙරිකාව විසින් මෙවැනි ප්‍රහාර සහ ඝාතන සිදු කර තිබුණ ද, ඒවා බොහෝ විට සිදු කරන ලද්දේ රහසිගත මෙහෙයුම් ලෙසය. නැතිනම්, වෙනත් කල්ලි කණ්ඩායම් යොදවාගෙනය. නමුත්, මේ ආකාරයට එළිපිටම වෙනත් රටක හමුදා නායකයකු වෙනත් රටක දී ඝාතනය කර එය තමන් විසින් කළ බව පැවසූ පළමු අවස්ථාව වන්නේ මෙයයි. මේ තත්ත්වය බලවත් ලෙස ලෝකයේ අවධානයට ලක් වී තිබෙන්නේ මෙම ප්‍රහාරයේ ස්වභාවයේ ඇති මෙම බරපතළකම නිසාය. එමෙන්ම එවැනි ප්‍රහාරයක් සාධාරණීයකරණය කිරීම සඳහා ලෝකයේ බලවත් සංවිධාන එකහෙළා පෙනී සිටින තත්ත්වයක් ද දැකිය හැකිය. මෙම ප්‍රහාරයෙන් පසුව නේටෝ සංවිධානය සහ යුරෝපා සංගමය එය සාධාරණීයකරණය කිරීමෙන් මෙම තත්ත්වයේ ඇති බලවත් අවදානම හෙළි විය. මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක පොලිස්කාරයාගේ තත්ත්වයෙන් මිදී ලෝකයේ පාතාල රජුගේ තත්ත්වයට පත්ව සිටින ස්වභාවයක් මෙම ප්‍රහාරය විසින් ඔප්පු කර තිබීම විශේෂත්වයකි.

මෙම ප්‍රහාරයත් සමඟ ඉරාක පාර්ලිමේන්තුව විසින් විශේෂ යෝජනාවක් සම්මත කරනු ලැබී ය. ඒ අනුව සියලු විදේශ හමුදා ඉරාක භුමියෙන් ඉවත් විය යුතු ය. ඉරාක කැබිනට් මණ්ඩලය ද මෙම යෝජනාව මේ වන විට අනුමත කර තිබේ. ඒ අනුව ඉරාකයට අයත් ගොඩබිම, ගුවන් තීරය සහ ජල තීරයන් විදෙස් හමුදා විසින් භාවිත කිරීම තහනම් කිරීමට තීරණය වී තිබේ. මේ වන විට ඇමෙරිකානු හමුදා භටයන් 5,000ක් පමණ ඉරාකයේ රැඳී සිටින අතර, එයින් බහුතරයක් යුද විශේෂඥයන්ය. නමුත්, මේ සම්බන්ධයෙන් වහාම ප්‍රතිචාර දක්වන ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් එලෙස ඉවත් වීම ප්‍රතික්ෂේප කර තිබේ. එමෙන්ම ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ, ඉරාකය තුළ ඇමෙරිකානු හමුදා කඳවුරු සහ ගුවන් කඳවුරු ඉදි කිරීම සඳහා තම රට විශාල මුදල් ආයෝජනයක් සිදු කර තිබෙන බැවින්, එලෙස ඉවත් විය නොහැකි බවයි. එසේ ඉවත් වන්නේ නම්, අදාළ ආයෝජන වියදම් ආපසු සිය රට වෙත ගෙවිය යුතු බව ද ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. මෙය අරුමපුදුම කතාවකි. ඉරාකය වෙත පළමුව ඇමෙරිකානු හමුදා පැමිණියේ ඉරාකයේ ආරාධනයට නොවේ. බලහත්කාරයෙනි. අනතුරුව මිලියන ගණනක් සිවිල් ජනතාව මරා දමමින්, ඉරාක රාජ්‍ය තන්ත්‍රය පෙරළා දමා තමන්ට හිතවත් කණ්ඩායමක් බලයට පත් කළේ ද ඇමෙරිකාවයි. පසුව ඉරාකයේ බොහෝ තෙල් නිධිවල අයිතිය ඇමෙරිකානු සමාගම් සතු කළේය. ඒ සඳහා සියලු ආශීර්වාදයන් ලබා දුන්නේ සදාම් හුසේන්ගෙන් පසුව බලයට පැමිණි ඇමෙරිකානු ගැති පාලනයයි. නමුත් ලේවැකි මෙහෙයුම්වලින් පසුව අවසානයේ දී සිය රටේ සාරය ඇමෙරිකාව විසින් උරා බී ඇති බව ඉරාකය තේරුම් ගන්නා විට බොහෝ දේ සිදුව අවසන්ය. ඒ හේතුවෙන් මේ වන විට ඇමෙරිකානු විරෝධයක් ඉරාක ජනතාව තුළ ඇතිව තිබේ. එවැනි පසුබිමක මෙම ප්‍රහාරය එල්ල වීම විශේෂ වේ.

ඇමෙරිකාව මෙම ප්‍රහාරය එල්ල කිරීම සඳහා හේතු වූ කරුණු රැසක් තිබිය හැකිය. පළමු වැදගත්ම කරුණ වන්නේ මැදපෙරදිග දෙවන විශාලතම රට වන ඉරානය සිය පාලනයට නතු කර ගැනීමේ භූ දේශපාලන වුවමනාවයි. එමෙන්ම ලෝකයේ ඛනිජ තෙල් නිධි අතුරින් 10%ක හිමිකාරීත්වය ඇත්තේ ඉරානය වෙතයි. දැනට භාවිතයට ගෙන තිබෙන තෙල් සම්පත පමණක් සැලකුවහොත්, තවත් වසර 100ක් යන තුරු ඉරාන තෙල් නිධි ප්‍රමාණවත් වේ. අත නොගසන ලද බොහෝ තෙල් සම්පත් ඔවුන් සතුය. මේ වන විටත් දිනකට ඉරානය තෙල් බැරල් මිලියන 2.5ක සාමාන්‍ය අගයකින් තෙල් නිපදවනු ලැබේ. ඔවුන් එසේ කරන්නේ සම්බාධක විශාල ප්‍රමාණයකට මුහුණ දෙමිනි. ඒ අනුව මෙම තෙල් සම්පත අත්පත් කර ගැනීම ඇමෙරිකාවේ ප්‍රධාන කුරුමානමයි. ඒ නිසාම 2015දී ඇමෙරිකාව සහ ඉරානය අත්සන් කරන ලද න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සීමා කිරීමේ ගිවිසුමෙන් ඉවත් වීමට ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කරන්නේ මෙම මාවත විවර කර ගැනීමේ යටි අරමුණු පෙරදැරි කරගෙන ය. ඩොනල්ඞ් ට්‍රම්ප් අනුගමනය කරන අන්ත ජාතිකවාදී ආර්ථික ප්‍රතිපත්තියට මෙම තත්ත්වය මැනැවින් ගැළපේ. එමෙන්ම ඇමෙරිකානු මාධ්‍ය ඩොනල්ඞ් ට්‍රම්ප්ව හඳුන්වන උද්දච්චකමට හොඳින් ගැළපේ. ඒ අනුව මෙම ප්‍රහාරය අන් යමක් නොව ඇමෙරිකාවේ අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තියේ ම එක් කොටසක් පමණකි. 

අනෙක් පසින් ඩොනල්ඞ් ට්‍රම්ප් ගේ ජනප්‍රියතාව ඇමෙරිකාව තුළ මේ වන විට ඉතා වේගයෙන් අවම වෙමින් තිබේ. මේ වසර අග ජනාධිපතිවරණයක් පැවැත්වෙන අතර, ඊට මුහුණ දී පහසුවෙන් ජය ගැනීම ට්‍රම්ප් ට මේ වන විට අභියෝගයක් වී තිබේ. මේ වන විටත් ට්‍රම්ප් ජනාධිපති තනතුරෙන් ඉවත් කිරීම සඳහා ඉදිරිපත් වූ දෝෂාභියෝගය පහළ මන්ත්‍රී මණ්ඩලය තුළ සම්මත වී තිබේ. ඉදිරියේ දී එය සෙනෙට් මණ්ඩලය තුළ විවාදයට ගැනීමට නියමිතය. ඒ අනුව ට්‍රම්ප් සිටින්නේ මේ වන විටත් විශාල අභියෝග රැසක් මැදය. ඒ නිසා සිය ජනප්‍රියතාව ඉලක්ක කරගෙන කිසියම් කාර්යයක් සිදු කිරීමේ අවශ්‍යතාව ඔහු ඇතුළු කණ්ඩායමට තිබේ. අන්ත ජාතිකවාදී ඇමෙරිකානුවන් කුල්මත් කිරීම සඳහා මෙවැනි දෑ සිදු කළ පළමු ජනාධිපතිවරයා ඩොනල්ඞ් ට්‍රම්ප් නොවේ. එම නිසා මෙම ප්‍රහාරය පිටුපස මෙම ජාතිකවාදී පුද්ගල අවශ්‍යතාව ද තිබිය හැකි ය. නමුත්, එමඟින් ලෝකය තුළ ඇති කරන ව්‍යාකූලතාව ඉතා ගැඹුරුය. ඛේදජනකය.

මේ වන විට ලෝකයේ මැදහත්ව කටයුතු කරන රටවල් විසින් ඇමෙරිකාවේ මෙම නොහික්මුණු ක්‍රියාවලිය සම්බන්ධයෙන් අප්‍රසාදයෙන් පසු වේ. චීනය සහ රුසියාව ඉරානය සමඟ ඉතා සමීප සම්බන්ධයක් ඇති කරගෙන තිබෙන අතර, මීට සති කිහිපයකට පෙර මේ රටවල් තුන එක්ව ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් පවා සිදු කරන ලද්දේය. නමුත්, චීනය ලෝකයේ කිසියම් පාර්ශ්වයක් සමඟ යුද්ධයකට අවතීර්ණ වේ යැයි සිතිය නොහැකිය. ඇමෙරිකාවට ලෝකයේ කොහේ හෝ තැනක යුද්ධයකට චීනය පටලවා ගැනීමේ දැඩි වුවමනාවක් තිබෙන නමුත්, චීනය දිගින් දිගටම එම උපායමාර්ගයට හසු නොවී කටයුතු කරන තත්ත්වයක් දැකිය හැකිය. ඒ නිසා වහාම සිදු විය හැකි කරුණක් වන්නේ,  ඇමෙරිකාව ලෝක දේශපාලනය තුළ හුදෙකලා කිරීමේ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් ක්‍රියාත්මක වීමේ සම්භාවිතාව ඉහළ මට්ටමක තිබීමයි. යම් ලෙසකින් ඉරාකයට සිදු කළාක් මෙන් ඇමෙරිකාව ඉරානය ආක්‍රමණය කළහොත්, හෝ ප්‍රහාර එල්ල කළහොත් හෝ එය ඉරාකයේ මෙන් පහසුවෙන් සිදු නොවී ඊට වඩා වෙනස් තත්ත්වයක් වෙත යොමු වීමට තිබෙන ඉඩකඩ ඉතා විශාලය. විශේෂයෙන් මෙවැනි ප්‍රහාරයක් හමුවේ ඉරානය එය පහසුවෙන් අතහරිනු ඇතැයි සිතිය නොහැකි සේම ලෝකයේ වෙනත් බලවත් රටවල් ද එය පහසුවෙන් අතහරින තත්ත්වයක් ඇති වෙතැයි සිතිය නොහැකිය. එමෙන් ම ඉරාකයේ මෙන් නොව ඉරානය සතුව ඇත්තටම න්‍යෂ්ටික අවි තිබෙන බවට විශ්වාස කෙරෙන තත්ත්වයක් තුළ මෙම පසුබිම තවත් වෙනස් වනු ඇත. එමෙන්ම ඇමෙරිකාවේ මෑත ක්‍රියාකාරකම් හේතුවෙන් ලෝකයේ රටවල් රැසක් ඔවුන්ගෙන් ඉවත් වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර තිබේ. මේ වන විට අනෙක් පසින් චීනය ක්‍රමයෙන් එහෙත්, ස්ථාවර ලෙස ලෝක බලවතා වෙමින් තිබෙන තත්ත්වයක් තුළ මෙම පසුබිම තවත් වෙනස් වෙමින් තිබේ.

18-19 සියවස්වල ලෝකයේ බලවතා බවට පත් වූ බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් පිටුපස තිබූ ශක්තිය වූයේ ඔවුන් සතුව තිබූ නාවික බලයයි. ඊට අභියෝග කරන්නට ලෝකයේ කිසිවෙක් නොවුණ තැන ඔවුහු ලෝකයේ අස්සක් මුල්ලක් නෑර රටවල් සිය ග්‍රහණයට ගත්හ.  අද ඇමෙරිකාව ලෝකය තුළ බලවත් වී තිබෙන්නේ මේ වන විට ඔවුන් සතුව තිබෙන ගුවන් ශක්තිය හේතුවෙනි. මේ වන විට ලෝකයේ බලවත්ම ගුවන් ශක්තිය ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයට බව අවිවාදිතය. ඔවුහු එයින් වැඩ ගනිමින් සිටිති. නමුත්, මේ වන විට ක්‍රමයෙන් චීනය ද ගුවන් බලය සහ අභ්‍යාවකාශ බලය අත්පත් කර ගනිමින්, ප්‍රාග්ධන අයිතිය අත්පත් කර ගනිමින් සිටින තත්ත්වයක් තුළ ඇමෙරිකාවට සරල ලෙස ලෝකය හැසිරවිය හැකි වෙතැයි සිතිය නොහැකිය. ඇමෙරිකාව විසින් චීනයට එරෙහිව ප්‍රකාශයට පත් කරනු ලැබූ වෙළෙඳ යුද්ධය අවසානයේ දී දෙරට අතර වෙළඳ ගිවිසුමක් දක්වා විතැන් වූයේ චීනය සතු මෙම උපායමාර්ගික සැලැස්ම නිසා ය. එබැවින්, ඉරානයේ මෙම හමුදා නායකයා ඝාතනය පදනම් කරගෙන ලෝක යුද්ධයක් ඇති වෙතැයි සිතිය නොහැකිය. නමුත්, ඉරානය විසින් යම් යම් දේ ඇමෙරිකාවට එරෙහිව ඉදිරියේ දී සිදු කරනු ඇතැයි යන්න බැහැර කළ නොහැකි සත්‍යයකි.

අනුහස් බණ්ඩාර

Leave a Response