විශේෂාංග

MCC රටට අහිතකර ඇයි?

131views

2014 වර්ෂයේ දී ඇමෙරිකානු ජනාධිපති ඔබාමා යටතේ ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තියේ වෙනසක් සිදු කෙරුණා. ඒ අනුව ‘ආසියාවට හැරීම’ (Pivote to Asia) නමින් වූ විදෙස් ප්‍රතිපත්තිය යටතේ ආසියාව තුළ චීනයේ බලය වර්ධනය වීමට ප්‍රතිචාර දැක්වීමට කටයුතු කිරීම ඇමෙරිකාව ආරම්භ කළා. ඒ අනුව පැසිෆික් හා ඉන්දියානු සාගරය එක් කරමින් ඉන්දු – පැසිෆික් සාගර කලාපයේ චීන බලය ව්‍යර්ථ කිරීමට ඇමෙරිකාව මේ වෙන කොට කටයුතු කරමින් සිටිනවා.

පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ කතාබහට ලක් වුණු උණුසුම්ම මාතෘකාව වුණේ MCC ගිවිසුම යැයි කීවොත්, එය නිවැරදියි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි බුද්ධිමතුන්ගේ අදහස වූයේ, මෙය රට තුනට බෙදන බෙදුම්වාදී කුමන්ත්‍රණයක් බවයි. ලංකාව මැදින් තාප්පයක් ඉදි කරන බවත්, ඒ අනුව ඇමෙරිකානු කොරිඩෝවක් රට තුළ ගොඩනඟන බවත් පොදුජන පෙරමුණේ බුද්ධිමතුන් පෙන්වා දුන්නා. එයට එවකට රජයේ මුදල් ඇමතිවරයා වූ මංගල සමරවීර හා චම්පික රණවක වගේම MCC ආධාරය අපට ලබා දීමට සූදානමින් සිටින ඇමෙරිකානු තානාපති කාර්යාලයත් ප්‍රතිචාර දැක්වූවා. ඔවුන් ප්‍රකාශ කළේ මේ ගිවිසුම මඟින් ඇමෙරිකාව ලංකාව මැදින් තාප්පයක් ගොඩනැඟීමට උත්සාහ කරන්නේ නැති බවත්, ඇමෙරිකාව ලංකාවේ ඉඩම් අල්ලා ගැනීමට උත්සාහ නොකරන බවත්ය. ඵක්‍ක්‍ ගිවිසුමට දැඩිව විරෝධය පළ කළ පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය ජය ගැනීමත් සමඟ හා ඔවුන්ගේ රජයක් පිහිටු වීමත් සමඟ MCC  ගිවිසුම ක්‍රියාත්මක නොවනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වුණා. ඒත්, එයට පෙර විරෝධය දැක් වූ පාර්ශ්ව දැන් පක්ෂපාතී අදහස් දැක්වීමට පටන්ගෙන තිබෙනවා. ඒ නිසා ඇත්තටම මොකක් ද මේ ගිවිසුම ? එය රටට අහිතකර ද? එහෙම අහිතකර නම්, එය අත්සන් කිරීම රජය ප්‍රතික්ෂේප කරන්නේ නැත්තේ ඇයි ? යන කාරණාවලට උත්තර අපි නැවත විමසා බැලීම කළ යුතුව තිබෙනවා.

මොකක්ද මේ MCC ?

MCC නැතිනම් Millennium Challenge Corporation කියන්නේ එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපායමාර්ගයේ කොටසක් ලෙස ක්‍රියාත්මක වන සංවර්ධන ආධාර ඒජන්සියකි. 2001 සැප්තැම්බර් ප්‍රහාරයෙන් පසුව මෙම විශේෂ ආධාර ඒජන්සිය පිහිටුවන්නේ ‘සංවර්ධනය මඟින් ත්‍රස්තවාදය නැති කිරීම’ යන ප්‍රකාශිත අරමුණ පෙරදැරි කරගෙනයි. ඇමෙරිකානු රජය මෙහෙයවන වඩාත්ම බලපෑම්සහගත ආධාර ඒජන්සියත් MCC ආයතනයයි. මෙහි දී අපි මතක තබා ගත යුතු කාරණය නම්, මෙම ආයතනයේ සාර්ථක බව තීරණය වෙන්නේ එය ඇමෙරිකානු රජයට මොන තරම් වාසිසහගත ලෙස ක්‍රියා කරන්නේ ද යන කාරණය මත බවයි. 2020 වර්ෂය වෙනුවෙන් අයවැය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා ඵක්‍ක්‍ ආයතනය විසින් ඇමෙරිකානු කොන්ග්‍රසයට (ඇමෙරිකාවේ ව්‍යවස්ථාදායක මණ්ඩලයට) ඉදිරිපත් කරනු ලැබ ඇති වාර්තාවට අනුව MCC ආධාරයේ ඇති සුවිශේෂීම ප්‍රයෝජනයක් වෙන්නේ ඒ මඟින් ලබා දෙන යටිතල පහසුකම් සංවර්ධන ආධාර සඳහා ඇමෙරිකානු ආර්ථික අරමුණුවලට හිතකර ලෙස රටවල ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීම හා ඇමෙරිකානු ආයෝජකයන්ට භාවිත කළ හැකි දත්ත ලබා ගැනීමට හැකි වීමයි.

ජනතා විරෝධී ආර්ථික ප්‍රතිසංස්කරණ සහ MCC බලපෑම’

මෙම ආධාරය ලබා දීමට ගත යුතු පියවර කිහිපයක් ඇත. MCC ආධාරය ලබා ගැනීමට නම්, එම රටවල් MCC ආයතනය විසින් තීරණය කරනු ලැබ තිබෙන නිර්ණායක අනුව ලකුණු ලබා ගත යුතුයි. එම නිර්ණායක කොටස් තුනකින් සමන්විත වේ. ඒවා නම් සාධාරණ ලෙස පාලනයට අදාළ දර්ශක, ජනතාව මත ආයෝජනය කිරීමට අදාළ දර්ශක හා ආර්ථික නිදහසට අදාළ දර්ශකයි. බැලූබැල්මට යහපත් ලෙස පෙනුණත්, මෙම නිර්ණායක මඟින් අපේක්ෂිත ප්‍රතිඵල සැලැකීමේ දී ඒවායේ ඇති භයානක බව පැහැදිලි වෙනවා. මේ අතුරින් වඩාත් බරපතළ ලෙස සැලැකිය යුතු නිර්ණායක ඇත්තේ, ආර්ථික නිදහසට අදාළ දර්ශක තුළයි. එම දර්ශකවලට අනුව අබාධිත වෙළඳාම, කම්කරු නීති ළිහිල් කිරීම, ඉඩම් පෞද්ගලික අංශයට විවෘත කිරීම, මූල්‍ය සේවාවන් වාණිජ අරමුණින් සිදු කිරීම හා පෞද්ගලික අංශය ප්‍රවර්ධනය වැනි දේ යහපත් ප්‍රතිඵල ලෙස ලැයිස්තුගත කර තිබෙනවා.

මෙවැනි ආර්ථික ප්‍රතිපත්තිවලින් ජනතාවට කිසිදු ආකාරයක යහපතක් සිදු නොවන බව ඉතාමත් පැහැදිලිව ලොව පුරා සිටින ආර්ථික විද්‍යාඥයන් විසින් පෙන්වා දී තිබෙනවා. නමුත්, අධානග්‍රාහී ලෙස පෞද්ගලික දේපළ අයිතිය ආරක්ෂා කිරීමෙන් හා පෞද්ගලික අංශයට ආර්ථික කටයුතුවල නිරත වීමට ඇති සියලු‍ බාධා ඉවත් කිරීමෙන් ආර්ථික දියුණුව අත්පත් කර ගත හැකි වේ යැයි සිතන පිරිස් නිසාවෙන් හා එවැනි ආර්ථික පිළිවෙත් තුළින් දැනටමත් ධනවත් සමාගම්වල හා පුද්ගලයන්ගේ ධනය තවත් වර්ධනය වීමට සහාය වෙන නිසාවෙන් ජනතාවට ඉතාමත් අහිතකර ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රජයන් කටයුතු කරනවා. ඵක්‍ක්‍ ආයතනයේ මවු රට වන එක්සත් ජනපදය තුළ ඇති බරපතළ ආදායම් විෂමතාව හා සමාජ – ආර්ථික ගැටලු‍ දෙස බැලුවොත්, මෙම ප්‍රතිපත්ති කිසිසේත්ම ජනතාවාදී නොවන බව පැහැදිලි වෙනවා.

නමුත්, MCC ආධාරය ලබා ගැනීමට නම්, රටවල් මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුයි. පොදු සේවා කප්පාදු කරමින්, කම්කරු නීති, වෙළෙඳ බාධක හා පරිසර නීති ළිහිල් කරමින්, සමාගම්වලට බදු සහන ලබා දෙමින් කටයුතු කිරීමට ඵක්‍ක්‍ ආධාරය මඟින් උත්තේජනය සපයනවා. එය MCC ආයතනය විසින් හඳුන්වන්නේ MCC Effect නැති නම් MCC බලපෑම ලෙසයි. ලංකාවට ඵක්‍ක්‍ ආධාරය ලබා දීමට තීරණය කිරීමෙන් පැහැදිලි වෙන්නේ, ලංකාවේ ආර්ථිකය දැනටමත් සැලැකිය යුතු ප්‍රමාණයකින් මේ අධානග්‍රාහී ආර්ථික දැක්මේ ගොදුරක් බවට පත්ව ඇති බවයි.

තුන්වන ලෝකයේ වාසය කරන අපි වගේ රටවලට මෙය වටහා ගත හැකි ළඟම උදාහරණ වන්නේ ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය  අරමුදල ලබා දෙන සහන පැකේජයි. ඒවා සහන ලෙස නම් කර තිබුණත්, ඒවා සමඟ එන කොන්දේසි ක්‍රියාත්මක කිරීමේ දී ජනතාවට ගෙවීමට සිදු වෙන මිල අතිවිශාලයි. ඇත්ත වශයෙන්ම MCC ආයතනය විසින් ලංකාවට යෝජනා කර ඇති ඉඩම් නීති ප්‍රතිසංස්කරණ 1996 වර්ෂයේ සිටම ලෝක බැංකුව ද යෝජනා කරමින් සිටින ඒවා. දේපළ, පොදු සේවාවන් මෙන් ම ඉඩම් සහ ජලය වැනි පොදු සම්පත් ද පෞද්ගලිකකරණය කිරීමට මෙම සංවර්ධන ආධාර ආයතන විසින් සහන පැකේජවල කොන්දේසි ලෙස ජනතාව මත පනවනවා. කෙටිකාලීනව මුදල් ලබා ගත හැකි වුවත්, මෙවැනි ප්‍රතිසංස්කරණ දීර්ඝකාලීනව රටවලට අත් කර දෙන්නේ ඉතාමත් අහිතකර ප්‍රතිඵලයි. අද ලංකාවේ ඇති ණය අර්බුදය එයට හොඳම උදාහරණයක්. වසර 40කට අධික කාලයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ කොන්දේසි මත ආර්ථිකය හැසිරවීම නිසා ලංකාවේ ආර්ථිකය විනාශ වී තියෙනවා විතරක් නෙවෙයි, තව දුරටත් සංවර්ධන ආධාර මත යැපීමට රටට බල කර තිබෙනවා.

ආර්ථික උගුලෙන් ආරක්ෂක උගුලකට ?

ඉහත දී සාකච්ඡා කළ ආකාරයට MCC ගිවිසුම සංවර්ධන ආධාරයක් පමණක් නෙවෙයි. එය ඇමෙරිකානු ආරක්ෂක උපායමාර්ගයේත් කොටසක්. 2014 වර්ෂයේ දී ඇමෙරිකානු ජනාධිපති ඔබාමා යටතේ ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තියේ වෙනසක් සිදු කෙරුණා. ඒ අනුව ‘ආසියාවට හැරීම’ (Pivote to Asia) නමින් වූ විදෙස් ප්‍රතිපත්තිය යටතේ ආසියාව තුළ චීනයේ බලය වර්ධනය වීමට ප්‍රතිචාර දැක්වීමට කටයුතු කිරීම ඇමෙරිකාව ආරම්භ කළා. ඒ අනුව පැසිෆික් හා ඉන්දියානු සාගරය එක් කරමින් ඉන්දු – පැසිෆික් සාගර කලාපයේ චීන බලය ව්‍යර්ථ කිරීමට ඇමෙරිකාව මේ වෙන කොට කටයුතු කරමින් සිටිනවා. ලංකාවට පෙර 2017දී ඇමෙරිකානු රජය නේපාලය සමඟත් මෙම අරමුණ නිසාවෙන්ම ඵක්‍ක්‍ ආධාරය සඳහා ගිවිසුමක් ලබා දුන්නා. නමුත්, මේ වෙද්දී එය නේපාල පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට නොහැකිව තිබෙන අතර, එයට ප්‍රධානම හේතුවක් වන්නේ චීනයට එරෙහිව කටයුතු කිරීමට මෙය යොදා ගන්නා බවට නේපාලයේ විපක්ෂය පවසා සිටීමයි. 

චීනය හා ඇමෙරිකාව අතර කලක සිට වර්ධනය වෙන සීතල යුද්ධය නිසාවෙන් හා චීනයේ වෙළෙඳ ආධිපත්‍යය බිඳදැමීමට ඇමෙරිකාව කරන කටයුතු නිසාවෙන් චීනය හා ඇමෙරිකාව අතර වෙළෙඳ යුද්ධයක් පසුගිය මාස ගණනාව පුරාම පැවැති අතර, මෙම ප්‍රතිවිරෝධය කුමන අවස්ථාවක දී හෝ මිලිටරි යුද්ධයක් බවට පෙරළිය හැකියි. ඉන්දියානු සාගරයේ මධ්‍යයයේ හා පැසිෆික් සාගරයට ප්‍රවේශ විය හැකි ස්ථානයක පිහිටා ඇති ලංකාව ඒ අනුව චීනයට විරුද්ධව ඇමෙරිකාවේ මිලිටරි සූදානමට වැදගත් රටක් බවට පත් වෙනවා. ලංකාවේ සිට චීනයට, ඉන්දියාවට හා ඉරානයට මිලිටරි තර්ජනයක් එල්ල කළ හැකි බව ඇමෙරිකානු රජය අවබෝධ කරගෙන සිටිනවා.

වෙළෙඳ බලවතුන් අතර මෙලෙස වර්ධනය වන යුද්ධයක කේන්ද්‍රයේ ලංකාව ස්ථානගත වීම ලංකාවේ ජනතාවගේ ජීවිත ආරක්ෂාවට බරපතළ ප්‍රශ්නයක්. ආර්ථිකව හා දේශපාලනිකව ඉතාමත් දුර්වල තැනක ඉන්න ලංකාව වගේ රටකට මෙවැනි තර්ජනයකට මුහුණ දීමට කිසිසේත්ම හැකියාවක් නැහැ. ඒ අනුව අපිට සිදු වෙනවා ඇමෙරිකානු රජයේ මිලිටරි ආරක්ෂාවට හා ඒ අනුව එහි පාලනයට නතු වීමට. ඇත්ත වශයෙන්ම MCC ගිවිසුමත් සමඟ ඇමෙරිකානු රජය හා දැනටමත් අප අත්සන් කර ඇති ACSA හා අත්සන් කිරීමට යෝජිත SOFA ගිවිසුම් ද එක්ව කියවා ගත යුතුයි. MCC යනු ලංකාව ඇමෙරිකාවේ යුද ආර්ථික උපායමාර්ගයේ ඉත්තකු බවට පත් කිරීමට ලබා දෙන ඉතාමත් සිල්ලර ගෙවීමක් පමණක් බව එවිට අපට පැහැදිලි වෙනවා.

MCC ද්විත්ව තර්ජනය

ලංකාව සමඟ අත්සන් කිරීමට යෝජිත ගිවිසුම අපි මඳක් පිරික්සා බැලු‍වහොත්, ආර්ථික හා මිලිටරි නව යටත්විජිතකරණයේ සේයාවන් එය තුළ ඇති බව අපට පෙනෙනවා. MCC ගිවිසුම හරහා යෝජිත ඉඩම් ප්‍රතිසංස්කරණවලට අනුව කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා වන දිස්ත්‍රික්ක 12ක ඉඩම් සිතියම්ගත කිරීම, දත්ත ගබඩාවක් සකස් කිරීම හා ඉඩම් අයිතිය නිරවුල් කිරීම සිදු කරනවා. මෙහි ප්‍රකාශිත අරමුණ ජනතාවගේ ඉඩම් අයිතිය ආරක්ෂා කිරීමයි.

නමුත්, MCC ආධාරය ලබා ගැනීම සඳහා ඇමෙරිකානු රජය හා ලංකාවේ රජය එක්ව සකස් කරන ලද බාධක විශ්ලේෂණයට අනුව ලංකාවේ ඉඩම් සම්බන්ධයෙන් ඇති ප්‍රධානම ප්‍රශ්නය විදෙස් සමාගම්වලට ඒවාට ප්‍රවේශ වීමට නොහැකි වීමයි. එහි කිසිම තැනක ජනතාවගේ ඉඩම් අයිතියක් ගැන සඳහන් වෙන්නේ නැහැ. සිතියම්ගත කර, දත්ත ගබඩා සකස් කර දැනට පොදු අයිතියට ඇති ඉඩම් පෞද්ගලික හිමිකාරිත්වයට පැවරූ විට මෙම ඉඩම් මිල දී ගැනීමට විදෙස් සමාගම්වලට වගේම ලංකාවේ සමාගම්වලටත් පහසු වෙනවා. දැනට සුළු‍ ගොවීන් අත ඇති ඉඩම් විකිණීම හෝ උකස් කිරීම තහනම් කර ඇති නිසා එම ඉඩම් වෙළෙඳ භාණ්ඩ ලෙස හුවමාරු වෙන්නේ නැහැ. නමුත්, සින්නක්කර අයිතිය සහිත ඔප්පුවක් සුළු‍ ගොවීන්ට ලබා දුන් වහාම ණයගැතියන් බවට පත්ව සිටින ගොවීන් මෙම ඉඩම් බැංකුවලට හා විදෙස් සමාගම්වලට විකුණා දමනවා. එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශේෂ වාර්තාකරුවන්ගේ නිරීක්ෂණවලට අනුව බැංකු ලෝකයේ ලොකු ම නිවාස හිමියන් බවට පත් වෙමින් සිටිනවා. MCC මඟින් සහාය දෙන ඉඩම් ප්‍රතිසංස්කරණ ඉදිරියට ගියහොත්, ලංකාවේ ඉඩම් අයිතියත් බැංකුවලට හා විශාල සමාගම්වලට මාරු වීම වැළැක්වීමට බැරි වෙනවා.

ප්‍රවාහන ප්‍රතිසංස්කරණ ද විමසා බැලීමේ දී අපට පෙනෙන්නේ ඒවා බොහෝ දුරට ප්‍රවාහනය හා තාක්ෂණ පද්ධතීන් එක් කිරීම සඳහා ලබා දෙන ආධාර වන බවයි. ඒ අනුව මාර්ග සංඥා පද්ධති, CCTV කැමරා හා ඨඡී පද්ධති මාර්ගවල හා බස්වල සවි කිරීම සිදු කිරීමට ඩොලර් මිලියන 350ක මුදලක් ලබා දෙනවා. මෙම මාර්ග සංවර්ධන කටයුතු සිදු කරන්නේත් ඉඩම් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන දිස්ත්‍රික්ක හා පළාත් ආශ්‍රිතවයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා නැඟෙනහිර පළාත්වල ඇති දිස්ත්‍රික්ක මෙම ඉඩම් හා ප්‍රවාහන ප්‍රතිසංස්කරණවලට ලක් වෙනවා.

බොහෝ දෙනාට අනුව MCC ආධාරය යටතේ ලබා දෙන ප්‍රවාහන ආධාර යහපත් වුවත්, ඒවා MCC පිටුපස ඇති දේශපාලන, ආර්ථික වුවමනාවන් අවතක්සේරු කරමින් කරන ප්‍රකාශ. ඵක්‍ක්‍ ආධාර ලබා දීමට තෝරාගෙන ඇති කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා වන දිස්ත්‍රික්ක (ආර්ථික කොරිඩෝවක් ලෙස හැඳින්වෙන්නේ ද මෙම ප්‍රදේශයයි) ඒ ලංකාවේ ඉඩම්, වතුර වගේම ස්වාභාවික සම්පත්වලින් බහුල දිස්ත්‍රික්කයි. ඒ වගේම තීරණාත්මක වරායන් දෙකක් යා කරන දිස්ත්‍රික්කයි. මෙම ප්‍රදේශ පිළිබඳව දත්ත එක්රැස් කිරීමට ඇමෙරිකානු ආධාර ඒජන්සියකට ඉඩ ලබා දීම ලංකාවේ ජනතාවගේ ආර්ථික ස්වෛරීත්වයට වගේම මහජන ආරක්ෂාවටත් බාධාවක්. ගිවිසුමට අනුව සෝදිසි පද්ධතීන් මඟින් එකතු කරන දත්ත අපි ඇමෙරිකානු රජයත් සමඟ බෙදා ගත යුතුයි. ප්‍රවාහනය කාර්යක්ෂම කිරීම සඳහා දත්ත එක්රැස් කිරීම ප්‍රශ්න කළ නොහැකි වුවත්, එම දත්ත කුමන අරමුණු වෙනුවෙන් භාවිත වෙනවා ද යන්න දැන ගැනීමට ජනතාවට අයිතියක් තිබෙනවා. ජනතාවගේ පෞද්ගලිකත්වයට ඇති අයිතිය උල්ලංඝනය කරමින්, තීරණාත්මක ස්වාභාවික සම්පත් හා වරායවල් ඇති ප්‍රදේශවල විදෙස් රටක් දත්ත එක්රැස් කිරීම ඉතාමත් ගැටලු‍සහගතයි.

සාමය හා ආර්ථික ස්වෛරීත්වය

ඇත්ත වශයෙන්ම ඇමෙරිකානු යුද ආර්ථික උපායමාර්ගයේ කොටසක් වන MCC ගිවිසුම ගැන කතා කිරීමට තවත් බොහෝ දේ ඉතිරිවී තිබුණත්, වැදගත්ම කාරණාවක් වන්නේ ලංකාවේ ජනතාවගේ ආර්ථික ස්වෛරීත්වය හා ආරක්ෂාවට බාධාවක් වෙන මෙවැනි ගිවිසුමක් ගැන ජනතාව සමග සත්‍ය කරුණු සාකච්ඡා කිරිමකින් තොරව ජාතිවාදී දේශපාලන හැඟවුම් පිටුපස සිට කතා කිරීම නිසාවෙන් රටක් ලෙස එක්ව ජනතාවට අහිතකර ගිවිසුම් පැරදවීමට අවශ්‍ය සමඟිය ගොඩනඟා ගැනීමට අප අසමත් වීමයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් MCC ගිවිසුම සම්බන්ධයෙන් ගෙන ගිය පටු ප්‍රචාරණ නිසාවෙන් ඇත්තට ම ජනතාව මෙහි සැබෑ අනතුර හඳුනාගෙන නැහැ.

ලංකාවට වඩා ඉතා බලවත් යුද ආර්ථික ශක්තියක් ඇති ඇමෙරිකාව වැනි රටවලට එරෙහිව නැවතත් අපගේ ආර්ථික ස්වෛරීත්වය හා මහජන ආරක්ෂාව තහවුරු කර ගැනීමට අවශ්‍ය නම්, ලංකාව තුළ යුක්තිය හා සාමය පැවැතීම ඉතාමත් වැදගත්. රට තුළ ජනතාව විවිධ දේශපාලන, ජාතික හා ආගමික අනන්‍යතා අනුව විසකුරු ලෙස බෙදා වෙන් කරන්නේ ජනතාවගේ ස්වෛරීත්වය හා ආරක්ෂාව තහවුරු කිරීමට නොව ජනතාව අසමඟි කරමින්, ජනතාවගේ ඇස්වලට වැලි ගසා ජනතා විරෝධී ගිවිසුම් අත්සන් කිරීමටයි. අපි ජනතාවක් ලෙස සැම විටම පිළිගත හැකි සත්‍ය කරුණු මත සිට හා එකිනෙකා අතර සැකය නොව සමඟිය වර්ධනය වන ආකාරයෙන් කටයුතු කළ යුත්තේ ඒ නිසාවෙන්මයි.

ලක්මාලි හේමචන්ද්‍ර

Leave a Response