විශේෂාංග

නැවතත් ඉපදෙන 1977 ඉතිහාසය

230views

ජේ.ආර්. ගේ පාර්ලිමේන්තු බලය සහ බල උන්මාදය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාපිස්නක් බවට පත් කළේ සම්මත කොට මාස දෙකක් ඇතුළත එයට පළමු සංශෝධනය ගෙන එමින් ද, එම හයෙන් පහක බහුතර බලය පවත්වාගෙන යාම පිණිස පාර්ලිමේන්තුවේ වාර කාලය තවත් වසර 6කින් දීර්ඝ කිරීමට 4වැනි සංශෝධනය මඟින් ජනමත විචාරණයක් පැවැත්වීමට ඉඩ ලබාගැනීමෙන් සහ සිය පාලන කාලය 1988දී අවසාන කරන විට එය ක්‍රියාත්මක වූ වර්ෂ 10 තුළ ඊට සංශෝධන 16ක් හඳුන්වා දෙමිනි.

කාල් මාර්ක්ස් කී පරිදි ඉතිහාසය වරක් ඛේදාන්තයක් ලෙසත් දෙවැනි වර විකාරයක් ලෙසත් නැවත පැමිණිය හැකිය. අප පිය නඟමින් සිටින්නේ ඛේදාන්තයේ අවධියට ද?

වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන දෙකක් ඉදිරිපත් කරමින්, සුළු පක්ෂ සඳහා අසුනක් ලබා ගැනීමට අවශ්‍ය අවම ඡන්ද ප්‍රතිශතය 5% (1/20) සිට 12.5% (1/8) දක්වා ඉහළ දැමීමටත්, විධායක ජනාධිපති ධුරයට 19වන සංශෝධනයෙන් ඇති කරනු ලැබූ සීමාවන් ඉවත් කිරීමටත් විජේදාස රාජපක්ෂගේ පෞද්ගලික යෝජනාවක් ලෙස ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පත් දෙකක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කොට ඇත. මේ ඔස්සේ සුළු ජාතික සහ විකල්ප ධාරාවේ දේශපාලන මතවාද සඳහා පාර්ලිමේන්තුව තුළ ඇති හඬ නිහඬ කිරීමත්, ඔවුන්ගේ නියෝජනය අවසන් කිරීමත්, ඔවුන් මහා ධාරාවට යටත් කිරීමටත් සහ 19වන සංශෝධනය යටතේ පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට යටත් කරන ලද විධායකය සතු වූ අසීමිත බලතල නැවතත් ජනාධිපතිවරයාට පවරා දී, 1977දී බලයට පත් ජේ. ආර්. ජයවර්ධන වැනි “පිරිමියෙක් ගැහැනියක කරන්නටත්, ගැහැනියක් පිරිමියකු කරන්නටත් පමණක් නොහැකි”‍ ජනාධිපතිවරයකු නැවතත් බිහි කරන්නටත් ඇති අභිලාෂය පැහැදිලිව පෙනේ.

1977 මහා මැතිවරණයෙන් පැවැති සමගි පෙරමුණු රජයේ ආසන සංඛ්‍යාව 8කට අඩු විය. ඊට වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගත් ද්‍රවිඩ එක්සත් පෙරමුණේ නායක ඒ. අමිර්තලිංගම් විපක්ෂ නායක බවට පත් විය. ‘‍ධර්මිෂ්ට සමාජයක්’ තේමාව කොට ගත් ජේ. ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් පිහිටුවූයේ ඉතිහාසයේ ප්‍රථම වරට පාර්ලිමේන්තුවේ හයෙන් පහක බහුතර බලයක් දිනා ගනිමිනි. එසේ බලයට පැමිණි ජේ. ආර්. ‘ධර්මිෂ්ට සමාජයක්’‍ ගොඩනැඟීම ඇරඹුවේ තම පක්ෂයේ ගහලයන් ලවා විරුද්ධ පාක්ෂිකයන්ට සිත් සේ පහර දීමටත්, ඔවුන්ගේ දේපොළ ගිනි තබා විනාශ කිරීමට සහ කොල්ලකෑමටත් හැකි වන ලෙස පොලිසියට සතියක් නිවාඩු ලබා දෙමිනි. මෙලෙස කරන ලද විනාශයේ එක් නෂ්ටාවශේෂයක් ලෙස ගිනි තබනු ලැබූ උඩුගම්පොළ පිහිටි වර්තමාන පොහොට්ටු කැබිනට් අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ පියාණන් වූ අප හිතවත් රෙජි රණතුංගගේ නිවසේ වහළ රහිත සැකිල්ල මෝටර් රථයත්, ශීතකරණයත් සහිතව 80 දශකයේ මැද භාගය වන තෙක්ම දක්නට ලැබිණි.

එම බලයෙන් උමතුව ක්‍රියා කළ ජේ. ආර්. තම බලය තහවුරු කර ගත්තේ, 1978 සැප්තැම්බර් 07 වැනි දින සම්මත කර ගත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ව්‍යවස්ථාදායකයේ හා අධිකරණයේ පාලනයට යටත් නොවන විධායක ජනාධිපති ධුරයක් ඇති කරමින් නොනිල ලෙස රාජාභිෂේක ලබමිනි. ඔහුගේ පාර්ලිමේන්තු බලය සහ බල උන්මාදය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාපිස්නක් බවට පත් කළේ සම්මත කොට මාස දෙකක් ඇතුළත එයට පළමු සංශෝධනය ගෙන එමින් ද, එම හයෙන් පහක බහුතර බලය පවත්වාගෙන යාම පිණිස පාර්ලිමේන්තුවේ වාර කාලය තවත් වසර 6කින් දීර්ඝ කිරීමට 4වැනි සංශෝධනය මඟින් ජනමත විචාරණයක් පැවැත්වීමට ඉඩ ලබාගැනීමෙන් සහ සිය පාලන කාලය 1988දී අවසාන කරන විට එය ක්‍රියාත්මක වූ වර්ෂ 10 තුළ ඊට සංශෝධන 16ක් හඳුන්වා දෙමිනි.

සමඟි පෙරමුණේ පාලනය තුළ රටේ පැවැතියේ, හාල් පොලු, මිරිස් පොලු, පාන් පෝලිම් ය. ජනතාව ජීවිතය ගෙව්වේ භූමිතෙල් ගඳැති රෙදිවලින් මසා ගත් ඇඳුම් අඳිමින්, කුණු බක්කිවල ආහාර සොයමිනි. ජේ. ආර්. හඳුන්වා දුන් ආර්ථික ප්‍රතිසංස්කරණවලට ඉල්ලුමක් ඇති වූයේ මේවා නිසා ය. එහෙත්, අයෝමය හස්තයකින් සිය පාලනය මෙහෙයැ වූ ජේ. ආර්. ජයවර්ධනගේ පාලනයේ හරය වූයේ විරුද්ධ මතධාරීන් මර්දනයයි.

1980දී පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමෙන් කූටප්‍රාප්තියට පත් මෙම මර්දන සහ පළිගැනීමේ දේශපාලනය ජාතිකවාදී තලයෙන් පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් දෙමළ ජනතාවට පහර දීම මඟින් ක්‍රියාත්මක කරනු ලැබුවේ, කැලණිය පාර්ලිමේන්තු මන්ත්‍රී කළුවාදේවගේ සිරිල් මැතිව් විසිනි. ප්‍රාදේශීය වශයෙන් මෙම මැර බලය රට පුරා පැතිරවීමට තග් හමුදාවක් දිස්ත්‍රික් සංවර්ධන අමාත්‍ය නමින් පත් කළ ඇමතිවරුන් යටතේ බිහි කරන ලදී. ජේ. ආර්.ගේ දුර්දාන්ත පාලනයට එරෙහි පළමු සංවිධිත විරෝධය වූ 1980 මහා වැඩ වර්ජනය සමතලා කොට දැමුවේ, රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන් 40,356 දෙනකුගේ රැකියා අහිමි කරමින්, ඔවුන්ගේ අඹුදරුවන් සිඟමනට පත් කරමිනි. අනතුරුව 1981දී පැවැත් වූ සංවර්ධන සභා මැතිවරණය කෙසේ හෝ ජය ගැනීම සඳහා දකුණෙන් මැරයන් උතුරට යවා සිදු කළ ක්‍රියාවලියේ උච්ච ම අවස්ථාවක් ලෙස යාපනයේ හදවත බඳු වූ යාපනය පුස්තකාලය ගිනි තබා විනාශ කරන ලදී.

1982 පැවැති ජනාධිපතිවරණය ද මැර බලය යොදා ජේ. ආර්. ජය ගත්තේ ය. එයින් පසු බොරු නැක්සලයිට් කුමන්ත්‍රණයක් පිළිබඳ බුද්ධි අංශ වාර්තාවක් ඉදිරිපත් කරමින්, විජය කුමාරතුංග, රත්නසිරි වික්‍රමනායක, ෆීලික්ස් පෙරේරා ඇතුළු පිරිස අත්අඩංගුවට ගනු ලැබිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාපිස්නක් කරගෙන කුමන්ත්‍රණකාරී ලෙස සිය හයෙන් පහේ බලය තවත් සය වසකට 1982දී ජනමත විචාරණයෙන් බලහත්කාරයෙන් දීර්ඝ කර ගන්නා ලදී. පසුව ඊට විරුද්ධව ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක සහ ප්‍රින්ස් ගුණසේකර නීතිවේදීන්ගේ සහායයෙන් අධිකරණය ඉදිරියට ගිය ජවිපෙ නායක රෝහණ විජේවීර ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් රජයට අවාසිදායක තීන්දුවක් ලැබීමට නියමිතව තිබිණි. මේ වන විට එවකට උතුරේ දෙමළ ජාතිකත්වයට විරුද්ධව දකුණේ ගොඩනැඟූ ජනමතයේත්, දකුණේ දේශපාලන ආර්ථිකයට සාපේක්ෂව උතුරේ ඇති වූ ප්‍රතිචාරයේත් ප්‍රතිඵලයක් ලෙස වර්ධනය වූ ත්‍රස්තවාදී කණ්ඩායම් අතර එකක් වූ එල්.ටී.ටී.ඊ. (LTTE) සංවිධානය විසින් හමුදා නිලධාරීන් 13 දෙනකු ජයවර්ධන රජය බලයට පත්ව 6 වසක් සපිරූ දිනට පසු දින ඝාතනය කරන ලද්දේ දශක තුනක් තිස්සේ ඇදී යන මහත් විනාශයකට මඟපාදමිනි. මෙම ඝාතනයට දකුණේ ප්‍රතිචාරයේ ලෝක ප්‍රසිද්ධිය ‘Black July’‍ යන්න ‘ගූගල්’ (Google) හි සෙවීමෙන් 80 දශකයෙන් පසුව ඉපදුණු පරපුරට සොයා ගත හැකි වනු ඇත. රජයේ ප්‍රාදේශීය දේශපාලන නායකත්වයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වූ මේ සාහසික සංහාරය මැඬලීමේ බලය පොලිසියට හා හමුදාවට දින ගණනක් යන තුරු නොපැවරූ අතර, මෙලෙස රට පුරා ක්‍රියාත්මක වූ දෙමළ ඝාතන සහ ‘ජාත්‍යාලය’‍ ලෙස එකල හැඳින් වූ දෙමළ ජනතාව සතු දේපොළ කොල්ලකෑමේ ව්‍යාපෘතිය අවසන් වූයේ සිංහලයන් අතිශය ම්ලේච්ඡ ජාතියක් ලෙසට ලොවට හඳුන්වා දෙමින් සහ අන්තර්ජාතික ප්‍රජාව හමුවේ ලංකාව හුදෙකලා කරමිනි.

ජනමත විචාරණය පිළිබඳ මැතිවරණ පෙත්සමෙන් රජයට පරාජය අත්වෙන බව පෙනෙද්දී අසූතුනේ කළු ජූලියට මුවා වී ජයවර්ධන රජය විසින් ජනතා විමුක්ති පෙරමුණත්, නව සමසමාජ පක්ෂයත්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයත් තහනම් කොට පක්ෂ නායකයන් සහ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය. එහි දී ජවිපෙ පමණක් අත්අඩංගුවට පත් වීමෙන් බේරීමට එතෙක් නිරත වූ ප්‍රජාතන්ත්‍රවාදී දහරාවෙන් නික්මී නැවතත් යටිබිම්ගත දේශපාලනයට තල්ලු‍ වූයේ ජේ. ආර්.ගේ ඉලක්කය විජේවීර ඇතුළු ජවිපෙ නායකයන් බව ඔවුන් දැනසිටි හෙයිනි. කෙසේ වෙතත්, ජේ. ආර්.ගේ මූලික අපේක්ෂාවක් මේ ඔස්සේ ඉටු කර ගැනීමට හැකි වූයේ පැමිණිලිකරු නොමැති වීමෙන් මැතිවරණ පෙත්සම ඉවත දැමීමෙනි. අත්අඩංගුවට ගත් අනෙකුත් පක්ෂ නායකයන් පසුව චෝදනා විරහිතව නිදහස් කරන ලදී.

අනතුරුව, තමන් විසින්ම නිර්මාණය කරන ලද ‘කළු ජූලිය’‍ දඩමීමා කරගෙන තමන්ට පාර්ලිමේන්තුව තුළ හිසරදයක් වූ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරුන් ඉවත් කිරීම ඉලක්ක කරගෙන 1983 අගෝස්තු මාසයේ සම්මත කළ 6 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් නියම කරන ලද ‘‍භෞමික අඛණ්ඩතාව’‍ පිළිබඳ දිවුරුම ලබා නොදීමෙන් අපේක්ෂා කළ පරිදි ම එම මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි වී පාර්ලිමේන්තුව තුළ උතුරේ දෙමළ නියෝජනයත් අවසන් වීමෙන් එජාපය පමණක් වූ සිංහල පාර්ලිමේන්තුවක් බිහි විය. එක් වියරු මිනිසකුගේ බල තණ්හාව හේතුවෙන් සුළු ජාතික කණ්ඩායම් සහ විකල්ප දේශපාලන මතවාදයන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයෙන් ඉවත් කිරීමෙන් පසු රට මුහුණ දුන් උතුරේ හා දකුණේ තරුණ අරගලත්, ඒ මඟින් රටට සහ ජනතාවට අත් කර දුන් ඛේදනීය ඉරණම පිළිබඳ ඉතිහාසයත් බොහෝ දෙනකුට අමතකව ඇති ආකාරය අද දවසේ නැවතත් හිස ඔසවන ඊට සර්වසමාන ක්‍රියාවන්ගෙන් සහ මතවාදයන්ගෙන් පැහැදිලිව පෙනේ.

එදා ජේ. ආර්. ජයවර්ධන ප්‍රමුඛ එජාපය විසින් කරනු ලැබූ අපරාධ හේතුවෙන් මේ දක්වාම එජාපයට තමන්ගේ ම වූ ආණ්ඩුවක් හදා ගැනීමේ අවස්ථාව අහිමි කර ඇත. 2015 ලැබුණු ජනවරමත්, ඉන් පසු පිහිටුවූ හවුල් ආණ්ඩුවේ බල ගැටුමත් නිසා ජේ. ආර්.ගේ පාලනයට හාත්පසින්ම වෙනස් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවත්වාගෙන යමින්, එකල ඇති කළ විනාශකාරී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන යම් තරමකට ආපසු හැරවීම සිදු විය. ඒ ක්‍රියාමාර්ග ගණනාවක් නිසා සෑම පුරවැසියකුටම තම අභිමානයෙන් ජිවත් වන්නට සුදුසු පරිසරයක් අභියෝග මධ්‍යයේ ඇති කරන උත්සාහයක් දියත් විය. ඩඞ්ලි සේනානායක රජයෙන් පසුව ලංකාවේ බිහි වූ ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී රජය ලෙස යහපාලන රජය (අකාර්යක්ෂමතාව මුල් කරගෙන ඊට එල්ල වූ ඉමහත් චෝදනා මධ්‍යයේ වුවද) සටහන් කොට තැබිය යුතුය.

නමුත්, පිරිසිදු සිංහල බෞද්ධ, දේශප්‍රේමී පාලනයක් ඇති කිරීම වෙනුවෙන් බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් නැවතත් ජේ. ආර්.ගේ විනාශකාරී මාවත තෝරා ගනිමින් සිටින බව පැහැදිලි ලෙසම පෙනෙන්නට තිබේ. 1989දී දකුණේ තරුණ නැඟිටීම ලෙයින් සහ යකඩින් මර්දනය කිරීමෙන් අනතුරුව ජනාධිපති ප්‍රේමදාස මහාචාර්ය ගාමිණී ලක්ෂ්මන් පීරිස්ගේ සභාපතිත්වයෙන් පත් කළ ‘තරුණ අසහන ජනාධිපති කොමිසමේ’ නිර්දේශ මත මැතිවරණ නීතිය සංශෝධනය කරමින්, තරුණයන් සහ කුඩා පක්ෂ සඳහා පාර්ලිමේන්තුවේ ඉඩක් ලබා දීම වෙනුවෙන් අසුනක් සඳහා ලබා ගත යුතු අවම ඡන්ද ප්‍රතිශතය 5%ක් දක්වා අඩු කරන ලදී. එම සංශෝධනය එම මහාචාර්ය ජී.එල්. පීරිස් ම සභාපතිත්වය දරන පොහොට්ටු පක්ෂයේ රජයකින් ආපසු හැරවුවහොත්, එය දෛවෝපගත සිදුවීමක් වනු නියතය. අනෙක් අතට එදා ජේ. ආර්.ගේ එජාපය නියෝජනය කළ ප්‍රාදේශීය මෙන්ම ජාතික මට්ටමේ මැර නායකයන් සහ මැර කණ්ඩායම්වලට සමාන කණ්ඩායම් පොහොට්ටු පක්ෂයේ ආරක්ෂකයෝ බවට පත්ව සිටිති.

එසේම “‍ශ්‍රී ලංකා මාතා”‍ යන පදවැලම තමන්ට තේරෙන බසින්, තමනුත් ලක් මාතාවගේ සාඩම්බර දරුවන් බවටත් දැනෙන ලෙස ගයන්නට තිබූ අවස්ථාව දෙමළ ජනතාවට අහිමි කිරීමට තීරණය කිරීමේ සිට කැබිනට් මණ්ඩලයට මුස්ලිම් ජාතිකයන් ඇතුළත් කර නොගැනීම සහ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන දෙක මඟින් ජේ. ආර්. කළ පරිදි ම සුළු ජාතික සහ විකල්ප මත නියෝජනයට ඇති අවස්ථා අවුරා දැමීමට කටයුතු කරමින් තිබේ. එසේ ම ජේ. ආර්. සතු වූ අසීමිත බලතල නැවතත් පවරා ගැනීමෙන් නොනැවැතී දැනට සිදු කරගෙන යන චිරස්ථායී නොවන බදු අඩු කිරීම් ද ඇතුළුව රාජ්‍ය ආයතනවලට කඩාපැනීම, රජයේ ආයතනවලින් ඡායාරූප ඉවත් කිරීම, වීදි අලංකරණය වැනි ජනප්‍රිය ක්‍රියාමාර්ග ඔස්සේ පාර්ලිමේන්තු මැතිවරණයේ දී තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට විපක්ෂය නිද්‍රාගතව සිටිද් දී උපරිම මට්ටමින් කටයුතු කරමින් සිටින ආකාරය පැහැදිලිව දැකිය හැකිය.

ගෝලීය මෙන්ම දේශීය ආර්ථිකයේ ද මන්දගාමී වර්ධනයත්, දේශීය ආර්ථිකයේ වර්ධනයට ස්ථිරසාර වැඩපිළිවෙළක් නොමැතිව තිබිය දී, ඉතිහාසයේ විශාලම ණය වාරික ප්‍රමාණය ඉදිරි වසර පහ තුළ ගෙවන්නට සිදුව ඇති පරිසරයක ඒ වෙනුවෙන් ගත යුතු දැඩි තීරණ ගැනීමටත්, ඊට එරෙහිව ඇති වන විරෝධතා නිර්දය ලෙස මර්දනය කිරීමටත් අවශ්‍ය විධායක බලය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය ඔස්සේ ලැබීමෙන් මුලින් සඳහන් කළ දුෂ්ට චක්‍රයම නැවතත් ක්‍රියාත්මක වීමේ හෙවත් ඉතිහාසය නැවතත් ඛේදාන්තයක් ලෙස ක්‍රියාත්මක වීමේ අවස්ථාවට රට මුහුණ දෙන අන්දම පිළිබඳව අනාගතය විසින් සාක්ෂි දරනු ඇත.

අනුරුද්ධ පෑබොටුව

Leave a Response