විශේෂාංග

යුද්ධයෙන් පස්සෙත් බෝම්බ පුපුරන ආර්ථිකය

89views

2009න් පසු රටේ මුළු ණය බර රුපියල් කෝටි 7,39,089කි. අවුරුදු පහක් තුළ ණය බර සියයට 178ක් දක්වා වැඩි වී තිබිණි. අවුරුදු 60ක තිබූ ණය බර දෙගුණ වන්නට ආසන්න මට්ටමකි. ඒ කාලය තුළ කැරලි, කෝලාහල, ගැටුම්, දේශපාලන කුමන්ත්‍රණ, වැඩ වර්ජන කිසිම දෙයක් තිබුණේ නැත.

බෞද්ධ සාහිත්‍යයේ හමු වන එක් කතා පුවතක් සිහිපත් වේ. ගැල් පන්සියයක වෙළෙඳ ද්‍රව්‍ය පුරවාගෙන ගැල්කරුවන්ට සහ ගැල් අදින ගොනුන්ට ප්‍රමාණවත් ආහාර සහ ජලය ද රැගෙන කාන්තාරය මැදින් යන වෙළඳ චාරිකාවක්. වෙළෙඳ නායකයා බෝසත්තුමා. මේ පිරිස කාන්තාර තරණයේ යෙදී සිටි අවස්ථාවක්. මොවුන් ඉදිරියට පැමිණියේ ජලය බේරෙන ගතින් සහ ගෙල පැළඳි ජලය බේරෙන ජලජ මල්දමින් සැරසුණු රාක්ෂයෙක්.

මේ රාක්ෂයා යෝජනා කරන්නේ, ජලය පුරවාගෙන අමතර කට්ටක් කමින් යා යුතු නොවන බවයි. ඕනෑ තරම් ජලය අත පොවන මානයේ තිබෙන බවයි. බෝසත්තුමා හැර අනෙක් සියල්ලෝම මේ වචන විශ්වාස කළහ. ජලය බේරෙන ගතින් සහ මල් සැරසිලිවලින් කියාපාන්නේ මේ කාන්තාරයේ වුව ද ඕනෑ තරම් ජලය තිබෙන බවයි. බෝසත්තුමා නියෝග කළේ එක ජල බිඳුවකුදු ඉවත නොහෙළන ලෙසයි.

මිනිසුන්ගේත්, හරකුන්ගේත් දිවි බේරුණේ බෝසත්තුමාගේ දුරදක්නා නුවණ නිසයි. මේ ජාතක කතා පුවත වර්තමානයේ බොහෝ දේට ආදේශ කර ගත හැකියි. ගෙවී ගිය වසර 72 තුළ ජනතාවගේ ගැලවුම්කාරයන්ගේ වේශනිරූපණයෙන් පැමිණ බලයට පත් වූ කී දෙනෙක් ද? අපේ බෞද්ධ ජනතාව ජාතක කතා අසා රසවිඳිනවා මිස එයින් ජීවිතයට දෙන අවබෝධය එක අංශුමාත්‍රයකින් හෝ ලබා ගත්තේ නම්, තත්ත්වය බොහෝ යහපත් වන්නට තිබිණි.

වර්තමාන ජනාධිපතිවරයාගේ අණබෙරකරුවෝ විවිධ දේ ප්‍රචාරය කරමින් සිටිති. අලුත්ම ප්‍රචාරය වී තිබෙන්නේ, නිකුත් කළ උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබා සිටින 1,81,000ක් දෙනාටම උපාධි ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි. මෙම වසරේ දී තරුණ, තරුණියන් ලක්‍ෂයකට රැකියා ලබා දෙන බවට ද තවත් අණබෙරයක්ය.

කාන්තාරයේ අර ගැල්කරුවන් ඉදිරියට පැමිණ ගැලවුම්කරුවකු සේ පෙනී සිටි ඇස් රවටන රාක්ෂයා සේ මේ ආණ්ඩුවේ නායකයෝ ද බොහෝ දේ අල්ලේ පැළ කර පෙන්වමින් සිටිති.

පසුගිය රාජපක්ෂ පාලන සමයේ (2006-2014) මහින්ද රාජපක්ෂ ජනාධිපති වී ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වූ අතර, පී. බී. ජයසුන්දර මහා භාණ්ඩාගාරයේ ප්‍රධානියා, අජිත් නිවාඞ් කබ්රාල්, මහ බැංකුවේ අධිපති සහ ආචාර්ය නාලක ගොඩහේවා ශ්‍රී ලංකා විනිමය සුරැකුම් කොමිෂන් සභාවේ සභාපතිව සිටි බව මතක් කර ගැනීම අවශ්‍යය. වර්තමානයේ ගෝඨා ජනාධිපති බවත්, මහින්ද අගමැති වී, පී. බී. ජයසුන්දර ජනාධිපති ලේකම් බවත්, අජිත් නිවාඞ් කබ්රාල් අගමැතිගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක සහ ආචාර්ය නාලක ගොඩහේවා රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් තෝරා ගැනීමේ ජනාධිපති කමිටුවේ ප්‍රධානියා සහ ජනාධිපති උපදේශකයකු බවත් මතක් කර ගැනීම අවශ්‍යය. ඔවුන් එකිනෙකා වර්තමානයේ දරන තනතුරු අතිශය වැදගත් වන්නේ රටේ ආර්ථිකය ගොඩ දැමීමේ විශ්වකර්මයන් සේ පෙනී සිටින්නේ ඔවුන් නිසායි.

දැන් රටේ ආර්ථිකය තිබෙන්නේ පිපිරීමට ආසන්න බෝම්බයක මට්ටමේය. කොයි මොහොතක පුපුරා යා දැයි කිසිවකුට අනාවැකි කිව නොහැකි ය. එසේ තිබිය දීත්, “අපි හොයා ගත්තොත්, අපට කන්න පුළුවන්” යන අදහසේ සිටින අයට අනතුරු ඇඟවීමට ඇත්තේ, “මේ බෝම්බයට අහු වෙන්න එපා !” කියලයි. මේ තරම් බිහිසුණු අනතුරු ඇඟවීමක් කරන්නේ මන් දැයි මෙතැන් සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා පදනම් කරගෙන කල්පනා කර බලමු !

රටක් හැටියට ලංකාව ණය වෙන්න පටන් ගත්තේ, කිනම් කාලයක සිට දැයි නොදනී. ණය වාර්තා හමු වන්නේ 1950 සිටය. 1950 අවසාන වන විට මුළු ණය බර රුපියල් මිලියන 654කි. අවුරුදු 60කට පස්සේ 2009 අවසාන වන විට මුළු ණය බර රුපියල් මිලියන 41,61,422කි. සරලව කියනවා නම්, අවුරුදු හැටක මුළු ණය බර රුපියල් කෝටි 4,16,000කි. 2009 අවුරුද්ද ගත්තේ, ප්‍රබල හේතුවක් නිසයි. කෙටියෙන් කියන්නේ, “තිස් අවුරුදු යුද්ධය අවසන් කළා” යනුවෙනි. තිස් අවුරුදු යුද්ධය කරන්නත් ණයට ගන්න සිද්ධ වෙලා. අන්තිමේ බලන කොට රටේ මුළු ණය බර තිබුණේ, රුපියල් කෝටි 4,16,000කි.

මෙන්න මේ තත්ත්වය තව ටිකක් පළල් විදියට ලිහා ගන්න අවශ්‍යයි. එල්.ටී.ටී.ඊ. ප්‍රහාරවල බරපතළකම කොතෙක් ද කියනවා නම්, දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සෘණ (-) 1.5ක් දක්වා බිඳවැටුණා. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. කොළොන්නාව තෙල් ටැංකිවලට පහර දීම වගේ අතිබිහිසුණු තත්ත්වයන් තිබුණා. 1983 ඉඳලා 2009 වන තුරු අවුරුදු 26ක් පුරා රටේ ආර්ථිකයට එල්.ටී.ටී.ඊ. ප්‍රහාර අතිවිශාල හානියක් සහ සෘණාත්මක බලපෑම් කළා.

ඊට අමතරව කරුණු රැසක් තිබෙනවා. 2004 දෙසැම්බර් 26 වැනිදා පැමිණි බිහිසුණු සුනාමි විනාශයෙන් ජීවිතවලට, දේපොළවලට සහ ආර්ථිකයට සිදු වුණේ අතිවිශාල හානියක්. 1988-89 සහ 1971 දකුණේ සිදු කළ සන්නද්ධ නැඟී සිටීමුත් ආර්ථිකයට බලපෑවා. 1962 හමුදා කුමන්ත්‍රණය, 1963 මහා වැඩ වර්ජනය පිළිබඳ තර්ජනය, 1959 අගමැති බණ්ඩාරනායක ඝාතනය, 1960දී මහා මැතිවරණ දෙකක් පැවැත්වීමට සිදු වීම, මුළු රටම අක්‍රිය කර කැබිනට් මණ්ඩලය කොළඹ වරායේ නවතා තිබූ ‘නිව් ෆවුන්ඞ්ලන්ඞ්’ නැවේ රැස් වෙන තරමට ප්‍රබල වූ 1953 හර්තාලය, 1948 ඉඳලාම වරින්වර මතු වූ ජාතිවාදී කෝලාහල වාගේ මහා බරපතළ හැලහැප්පිලිවලින් ගහණ අවුරුදු 60ක් 2009 අවසන් වන විට ගත කර තිබුණා.

මේ හැම දේම ආර්ථිකයට සෘජුව බරපතළ හානි කරලාත්. රටේ මුළු ණය බර රුපියල් කෝටි 4,16,000යි. ඒ බව මතක තියාගෙන තවත් පැත්තකින් 2009 අවසානයේ දී මුළු අපනයන ආදායම ඩොලර් මිලියන 7,084.5ක් වී තිබුණා. මුළු ආනයන වියදම ඩොලර් මිලියන 10,206.6යි. විදේශ වෙළඳාමේ පාඩුව ඩොලර් මිලියන 3,122.1යි. තවත් පැත්තකින් 2009දී අය-වැය තත්ත්වයට අදාළව රජයේ මුළු ආදායම රුපියල් කෝටි 72,557යි. මුළු වියදම රුපියල් කෝටි 1,20,192යි. අය-වැය හිඟය රුපියල් කෝටි 47,635යි. එයින් තවත් අවුරුද්දකට පස්සේ 2010 අවසානයේ මහ බැංකුව නිකුත් කළ වාර්තාව රටේ ආර්ථික පිබිදීම ගැන බලාපොරොත්තු ඇති කර තිබුණේ, කොයි ලෙසින් ද කියලා. ඒ ගොල්ලන්ගේ ම වචනවලින් පැහැදිලි වෙනවා.

“ශ්‍රී ලංකා ආර්ථිකය 2010 වසරේ දී සියයට 8.0ක ආකර්ෂණීය වර්ධනයක් අත් කර ගත් අතර. එමඟින් 2009දී ඇති වූ පසුබෑමේ සිට ආර්ථිකය වේගවත්ව යථා තත්ත්වයට පත්වීම මෙන් ම ඉහළ සහ තිරසර වර්ධන මාවතකට ප්‍රවිෂ්ට වීම පිළිබිඹු විය. ආර්ථිකයේ ප්‍රධාන අංශ ප්‍රශංසනීය වර්ධනයක් වාර්තා කළ අතර. රට තුළ සාමකාමී වාතාවරණයක් පැවැතීම ආයෝජකයන්ගේ විශ්වාසය වැඩිදියුණු වීම, යහපත් සාර්ව ආර්ථික වාතාවරණය සහ ඉතිහාසයේ වාර්තාගත දරුණු ම ආර්ථික අවපාතයකින් ලෝක ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වීම මෙම ඉහළ ආර්ථික වර්ධනයට හේතු විය” (මහ බැංකු වාර්ෂික වාර්තාව – 2010, පිටුව 1).

උපුටා ගැනීම් තුළ විශේෂ අවධානයට ලක් කළ යුතු කරුණු කීපයක් පවතී. ආර්ථික වර්ධනය සියයට 8.0 වීම සහ එය තිරසර වර්ධනයක් බව, රට තුළ සාමකාමී වාතාවරණය ඊට ප්‍රධාන හේතුව බව, ලෝකයේ දරුණු ම ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමත් හේතුවක් බව යන කරුණුයි.

එම වාර්තාවේ 22 වැනි පිටුවේ තව දුරටත් සඳහන් වන්නේ මෙවැන්නක්ය. “ගැටුම්කාරී පරිච්ඡේදය තුළ පැවැති අයහපත් ආරක්ෂාකාරී වාතාවරණයෙහි සෘජු හා වක්‍ර බලපෑම්වල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ධාරිතාව සහ නිෂ්පාදන සම්පත් උපරිම වශයෙන් ප්‍රයෝජනයට නොගන්නා ලදී.”

ශ්‍රී ලංකා මහ බැංකුව වගකිව යුතු ආයතනයක් ලෙස ආර්ථිකය සම්බන්ධයෙන් පළ කළ මෙම කරුණු 2014 වර්ෂය අවසන් වන විට ද ඒ ලෙස පැවැතියේය. 2015 ජනවාරි 08 වැනි දින පවත්වන ලද ජනාධිපතිවරණයෙන් රාජපක්ෂ පාලනය නිම විය. ඒ වන විට රටේ ආර්ථිකය තිබුණේ කොතැනක ද?

රටේ මුළු ණය බර රුපියල් කෝටි 7,39,089කි. අවුරුදු පහක් තුළ ණය බර සියයට 178ක් දක්වා වැඩි වී තිබිණි. අවුරුදු 60ක තිබූ ණය බර දෙගුණ වන්නට ආසන්න මට්ටමකි. ඒ කාලය තුළ කැරලි, කෝලාහල, ගැටුම්, දේශපාලන කුමන්ත්‍රණ, වැඩ වර්ජන කිසිම දෙයක් තිබුණේ නැත. නැත් නම්, අඩුම ගාණේ සුනාමි විනාශය වාගේ ස්වාභාවික විපතක් තිබුණෙත් නැත. ණය බර දෙගුණයකට ආසන්න වූයේ කොහොම ද? දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 2010දී සියයට 8.0ක ඉඳලා සියයට 5.0ක් දක්වා වැටී තිබිණි. අපනයන ආදායම ඩොලර් මිලියන 11,330ක් වෙන කොට ආනයන වියදම ඩොලර් මිලියන 19,417ක් වී තිබිණි. විදේශ වෙළඳාමේ පාඩුව 2009දී ඩොලර් මිලියන 3,123 ඉඳලා 2014 අවසන් වන විට ඩොලර් මිලියන 8,087ක් දක්වා සියයට 259කින් වැඩි වී තිබිණි. රජයේ මුළු ආදායම රුපියල් කෝටි 1,30,462ක් වෙන කොට මුළු වියදම රුපියල් කෝටි 1,29,586ක් දක්වා වැඩි වී අය-වැය හිඟය රුපියල් කෝටි 49,124ක් දක්වා වැඩි වී තිබිණි.

රාජපක්ෂ පාලනයේ 2010 ඉඳලා 2014 දක්වා අවුරුදු පහක් තුළ හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග නවීකරණය, උතුරට මාර්ග පද්ධති යළි සැකසීම ප්‍රමුඛ කර ගත් මහා පරිමාණ ඉදි කිරීම් කර්මාන්ත රාශියක් ක්‍රියාත්මක කර තිබිණි. රට තුළ මේ ඉදි කිරීම් ප්‍රමාණවත් නොවේ යැයි කල්පනා කළ නිසා දෝ මුහුද ගොඩ කර අලුතින් ඉඩමක් නිර්මාණයට ද මුලපුරා තිබිණි. ඒ හැම දේම තියෙද්දී, ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළ ඉහත උපුටා දැක් වූ ආර්ථික ‘තිරසර’ වර්ධනය පවා අහිමි වෙලා ගිහින් සියයට 5.0ක් දක්වා අඩු වෙලා තිබුණේ කොහොම ද?

ආර්ථික වර්ධනය පහත වැටීම, අය-වැය හිඟය වැඩි වීම, විදේශ වෙළඳාමේ පාඩුව ඉහළ යාම, ණය බර පිමි පනිමින් වැඩි වීම වාගේ දේවල් රාජපක්ෂ පාලනය තුළම මේ විදියට සිද්ධ වුණේ නම්, වර්තමානයේ ජනතාවට පෙන්වන සුරංගනා හීන කොතෙක් දුරට යථාර්ථයක් කර ගත හැකි වේ ද යන්න සලකා බැලිය යුතු නොවේ ද? මන්ද, එදා ආර්ථිකය මෙහෙයැවීමට නායකත්වය දුන් පුද්ගලයන් අතුරින් දේශපාලනයේ මේ වන විට අඩුවකට ඇත්තේ, බැසිල් රාජපක්ෂ පමණ ය. නිලධාරී තලයේ කිසි ම අඩුවක් නැත. ඔවුන්ගේ තනතුරු එහා මෙහා වීමක් පමණක් සිදු වී තිබේ.

රනිල් – මෛත්‍රී හවුල් පාලන සමයේ දී රටේ මුළු ණය බර රුපියල් කෝටි 7,37,090 සිට 2018 වසර නිම වන විට රුපියල් කෝටි 11,97,754ක් දක්වා ඉහළ දමා තිබිණි. ඒ පාලනය නිම වූ 2019 අවසානයේ ණය බර නිල වශයෙන් හෙළි වී නැත. විදේශ වෙළඳාම, අය-වැය හිඟය වැනි තත්ත්වයන් ද එසේ ම ය. කොහොම වුණත්, රටේ ආර්ථිකය සම්බන්ධයෙන් මවා පෙන්වන ක්ෂේම භූමිය වෙනුවට පවතින්නේ පිපාසය නිවා ගැනීමට දිය බිඳක්වත් නැති තත්ත්වයකය. ඒ තුළ පෙන්වන ඉන්ද්‍රජාලික ක්‍රියා සියල්ල පිටුපස තිබෙන බෝම්බය කොයි මොහොතේ හෝ පුපුරා යන බව නම්, ස්ථිරය. “අපි හොයා ගත්තොත්, අපි කනවා” යන මතයේ ඉන්න අයට ආයෙත් කියන්න තියෙන්නේ, “මේ බෝම්බයට අහු වෙන්න එපා !” කියලයි.

ඉන්ද්‍රසිරි ජයසුන්දර

Leave a Response