ක්‍රීඩා

අපි තවමත් බලාගෙන ඉන්නවා

78views

වසර උදා වෙන්නට පෙර අප ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට විද්‍යුත් තැපෑලෙන් ලිපියක් යොමු කළ ද, මේ වන තෙක් ඒ සඳහා පිළිතුරු ලිපියක් ලැබී නැත. ඒ නිසා අපි එම ලිපියම ලියාපදිංචි තැපෑලෙන් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කිරීමට කටයුතු කළෙමු.

දැනගන්නට ලැබෙන පරිදි මේ වන විට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉවත් කර පත් කරන්නට ගිය නිලධාරියාගේ පත්වීම එම නිලධාරියා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවය කරන සමයේ මිනීපෙට්ටි සම්බන්ධයෙන් වූ ටෙන්ඩරයකින් වංචා කරන්න හැදූ නිලධාරියකුට එරෙහිව ගත් විනය ක්‍රියාමාර්ග නිසා වූ ආරෝවක් පදනම් කර ගනිමින් ජනාධිපතිවරයාට කියූ මුසාවකින් වැළකී ඇති බව ‘ලංකා’ පුවත් පතට වාර්තා විය.

මේ තත්ත්වය නිසා වැරදි පොකුරකට චෝදනා එල්ල වූ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතෙක් බවට රංගනයක් ඉදිරිපත් කරමින්, සේවකයන්ට ද තර්ජන ගර්ජන දමමින් කටයුතු කරන බව ද ‘ලංකා‘ පුවත් පතට වාර්තා වේ. මේ තත්ත්වය යටතේ අමාත්‍යවරයා ද පෙරට දමා සිය කුණු ශුද්ධ කර ගැනීම සඳහා හදිසියේම රාත්‍රී භෝජන සංග්‍රහයක් ජනවාරි හත් වන දා සූදානම් කර තිබූ අතර, දකුණු ආසියාතික තරගාවලියේ සිදු වූ වැරදි සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් අමාත්‍යවරයාට සහ අමාත්‍යාංශයට විරෝධය දක්වමින්, ‘ලංකා’ ක්‍රීඩා පිටුව එම රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි වීමෙන් වැළකී සිටියේ ය.

නේපාලයේ සංචාරයට සහභාගි වූ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් මේ වන විට ප්‍රසිද්ධියේ නම කියමින් “ඒ අයට අපි හොඳට සැප දීලා තියෙන්නෙ. බය වෙන්න දෙයක් නැහැ. ඒ අය අපිව බලා ගන්නවා” යනුවෙන් ඇතැම් මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් සිය සේවකයන් සමඟ පුරසාරම් දොඩන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කෑමබීම දී මාධ්‍යවේදීන් මිලට ගත් අයුරෙන් රඟන රංගනයට ද අපි එම රාත්‍රී භෝජන සංග්‍රහය වර්ජනයෙන් විරෝධය දක්වන්නට තීරණය කළෙමු.

කෙසේ හෝ ලේකම්වරයා මැදිහත් වී රටේ ජනතාවට ක්‍රීඩාව සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නවලට ඉදිරි සතියේ හෝ පිළිතුරු ලබා දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු.

නිශ්මං රණසිංහ

Leave a Response