විශේෂාංග

ශානි ඉවතට – රන්ජන්ට සැප : ගෝඨාගේ නීතිය !

187views

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීමේ නඩුවට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම නිසා වැඩතහනමට ලක්වූ සහ ඇවන්ගාඞ් නඩුවේ කරුණු විකෘති කිරීමේ සිද්ධියක් නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පත් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවේදී විමර්ශන රැසක් සිදුකරන ප්‍රධාන අංශ කිහිපයක් මෙරිල් රංජන් ළමාහේවාට භාර දී ඇතැයි දැන ගන්නට තිබේ. මෙරිල් රන්ජන් ළමාහේවා යනු වැලිකඩ බන්ධනාගාරයේ නිරායුධ සිරකරුවන් පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීමේ නඩුවේ විත්තිකරුවකු වන හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවාගේ සහෝදරයෙකි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වද්දී එම විමර්ශනය කළ පොලිස් ඒකකයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළේ එවකට ප්‍රධාන පොලිස් පරීක්ෂක මෙරිල් රන්ජන් ළමාහේවාය.

සිද්ධියේ සැකකරුවකු වූ ආර්. දුමින්ද සිල්වා සිංගප්පූරුවේ මවුන්ත් එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලැබූ බව කියන වකවානුවේ ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට සිංගප්පූරුවට ගියේ මෙරිල් රන්ජන් ළමාහේවා වන අතර, දුමින්ද සිල්වාට කිසිවක් මතක නැති බවට සටහන් කරගෙන ඔහු පැමිණ තිබිණි.

2012 අප්‍රේල් මස 04 වැනි දා මෙම නඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේ දී රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටිය යුතු මෙරිල් රන්ජන් ළමාහේවා උසාවියේ සිට නැති අතර, ඒ ගැන දෝෂාරෝපනයක් එල්ල කළ මහේස්ත්‍රාත්වරයා ඔහුට පෞද්ගලිකව අප්‍රේල් 17 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

මේ සම්බන්ධයෙන් එවකට පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්ගේ නියමයෙන් විමර්ශනයක් සිදු කළ අතර, එහිදී අනාවරණය වී ඇත්තේ මෙරිල් රංජන් ළමාහේවා, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවට අධිකරණයේ පෙනී නොසිට ඇත්තේ ඊට පෙනී සිටින බව දන්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබිය දී බවයි.

මෙම විමර්ශනවලින් පසු මෙරිල් රන්ජන් ළමාහේවාගේ වැඩ තහනම් කළ අතර, පසුව ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඔහු යළි සේවයේ පිහිටවනු ලැබීය.

මෙරිල් රන්ජන් ළමාහේවා පොලිස් සේවයට එක්වී ඇත්තේ උප සේවා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙසය. උප සේවා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස වැල්ලම්පිටිය පොලිසියේ සේවය කර ඇති ඔහු දුමින්ද සිල්වා සහ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හොඳින් හඳුනන බව පොලිසිය කියයි. 2006 වසරේ පෙබරවාරි මස හය වැනි දා ඔහු පොලිස් පරීක්ෂක ධුරයට උසස්වී ඇති අතර පසුව 2010 වසරේ දී ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ අනුමැතියක් යටතේ ඔහුගේ පොලිස් පරීක්ෂක උසස්වීම 2001 අප්‍රේල් පළමු වැනි දාට පෙරදාතම කර තිබේ. ඒ අනුව එම විශේෂ අනුමැතිය ලද ලිපියෙන්ම ඔහු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ලෙස 2006 ජනවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි උසස් කිරීමට ද අනුමැතිය ලබා දී තිබේ.

2010 අප්‍රේල් 19 වැනි දා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙනුවට අතිරේක ලේකම් (පොලිස්) එච්.කේ. බාලසූරිය විසින් එම අනුමැතිය සහිත ලිපිය නිකුත් කර තිබේ.  ආරක්ෂක ලේකම්ගේ අනුමැතිය ලැබුණු හෙයින් ඔහුගේ පොලිස් පරීක්ෂක ධුරය පෙරදාතම කර ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයට උසස් කිරීමේ විශේෂ පොලිස් පණිවුඩය 2010 අප්‍රේල් 27 වැනි දා දුරකථන පණිවුඩ අංක 805 යටතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ගේ පෞද්ගලික සහකාර ලෙස සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්ෂ්මන් බණ්ඩාර විසින් නිකුත් කරනු ලැබ තිබේ.

2015 දී ඇවන්ගාඞ් පාවෙන අවි ගබඩාව සොයා ගැනීමත් සමඟ එහි විමර්ශන රහස් පොලිසියට පැවරූ අතර එම විමර්ශන යන අතරතුර දී නීතිපති දෙපාර්තමේන්තුව නාවික හමුදාවේ වාර්තාවක් විමසා ඇති අතර, මෙරිල් රන්ජන් ළමාහේවා ප්‍රකාශ කර ඇත්තේ එම වාර්තා නාවික හමුදාවෙන් ලබා දී නැති බවයි. කෙසේ වෙතත් නාවික හමුදාවෙන් එය විමසද්දී නාවික හමුදාව ප්‍රකාශ කර ඇත්තේ එම වාර්තාව රහස් පොලිසියේ මෙරිල් රංජන් ළමාහේවාට ලබා දී ඇති බවයි.

එම සිද්ධියෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුවේ ඇවන්ගාඞ් සිද්ධිය ගැන පැවැති සාකච්ඡාවක දී ගිනිඅවිවල අංක මකා දැමීම ගැන විමර්ශන නොකරන්නේ ඇයිදැයි විමසා තිබෙන අතර එහිදී මෙරිල් රන්ජන් ළමාහේවා ප්‍රකාශ කර ඇත්තේ ගිනි අවි නැවේ තිබියදී නැව පැද්දෙද්දී ගිනිඅවි දෙපැත්තට ගොස් ඒවා මැකෙන්නට ඇති බවයි. වගකීම් විරහිත සහ විමර්ශන නොමග යවන එම ප්‍රකාශයෙන් පසු මෙරිල් රන්ජන් මහතා විමර්ශනවලින් ඉවත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

ඒ අනුව ඔහු අදාළ විමර්ශනවලින් ඉවත් කර යාපනයේ පිහිටි රහස් පොලිස් ශාඛාව භාරව යවා තිබේ. එසේ ගොස් දින කිහිපයකින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකුට කතා කර, තම මිතුරකුගේ හිතවතකු වන මෙරිල් රන්ජන් ළමාහේවා යාපනයට යැවීම ගැන විමසා තිබේ. එම ඇමැතිවරයාගේ හිතවතා ඇවන්ගාඞ් නඩුවේ සැකකරුවකු වන නිශ්ශංක සේනාධිපති බවට අනාවරණය වීමෙන් පසු ඒ ගැන සටහන් යොදා ඇති රහස් පොලිස් ප්‍රධානීහු මෙරිල් රන්ජන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන ලෙස පොලිස්පතිවරයාට නිර්දේශ කර තිබේ. ඒ අනුව මෙරිල් රන්ජන් ළමාහේවා රහස් පොලිසියෙන් ඉවත් කර ඇත.

එසේ ඉවත් කළ ඔහු පසුගිය ආණ්ඩු පෙරළියත් සමඟ වහාම ක්‍රියාත්මක වන පරිදි යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්ථාන මාරු කර තිබේ. එලෙස යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි මෙරිල් රංජන්ට එම දෙපාර්තමේන්තුවේ වැදගත් අංශ කිහිපයක් අධීක්ෂණය කිරීමට භාර දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ නිවසින් සොයා ගත් නඩු භාණ්ඩ අතර තිබූ හඬ පට කිහිපයක් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කළ අතර එහි එක් හඬපටයකින් කියැවෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමඟ මෙරිල් රන්ජන් ළමාහේවාද දුරකථනයෙන් කතා කර ඇති බවයි. මෙරිල් රන්ජන්, රන්ජන් රාමනායකට අමතරව, හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ මව සමඟ ද කතාකර ඇති බව එම හඬ පටයෙන් කියැවේ. රන්ජන් රාමනායකගේ හඬපටයේ කියැවෙන පරිදි මෙරිල් රන්ජන් ළමාහේවා රන්ජන්ට කියා ඇත්තේ ශානි අබේසේකර සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ සමඟ බවයි. ගෝඨා සමඟ ඩීල් ගැසීම නිසා ශානි අබේසේකරලාට තනතුරු ලැබුණු බව මෙරිල් රන්ජන් ප්‍රකාශ කළැයි රන්ජන් රාමනායක එම හඬපටයෙන් ප්‍රකාශ කරයි.  එම හඬ පටය අනුව ශානි අබේසේකර රන්ජන් රාමනායකට දැනුම් දෙන්නේ එම තොරතුරු ලබාගෙන තමා සම්බන්ධයෙන් සොයා බලා තීරණයක් ගන්නා ලෙසයි. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රන්ජන් රාමනායක සමඟ කතා කිරීම නිසා ශානි අබේසේකරගේ වැඩ තහනම් කළේ නම්, එමිල් රන්ජන් ළමාහේවා කර ඇති වැඩවලට ඔහුගේ ද වැඩ තහනම් කළ යුතුය. එහෙත් එය එසේ නොවේ. ඒ එමිල් රන්ජන්ට ලොක්කන්ගේ සහාය ලැබෙන නිසාය.

අසංක කරුණාරත්න

Leave a Response